Tuesday, February 28, 2017

පුබුදු ජාගොඩ ගේ පාපොච්චාරණය




මෑතකදී රාවය පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී පුබුදු ජාගොඩ ජ.වි.පෙ ගැන මෙසේ සඳහන් කරයි 

" ජවිපෙ කට්ටියක් ඉන්නවා ආකර්ෂණීය පිරිසක්. ඒ අය තමයි නායකයෝ. අනෙක් අය ඇත්තටම වහල්ලු වගේ. එතැන ලොකු ශ්‍රම බෙදීමක් තිබුණා. කට්ටියක් ඇඟ වෙහෙසලා වැඩ කරනවා. ඒ අය හිතනවා අපි ඉන්නේ ඇඟ වෙහෙසන්න. ඒ උරුමය කියලා. ඒ වගේම ඒ අය හිතනවා අර ආකර්ෂණීය පිරිස එහෙම නැත්නම් නායකයෝ තමයි හිතන පිරිස. ඇත්තම කියනවා නම් ජවිපෙ පහළ සාමාජිකයෝ කියන්නේ හිතන එකත් නායකයන්ට බාර දුන්න පිරිසක්. ඒ නිසා ජවිපෙ කියලා හැමදාම මිනිස්සු දැක්කේ අර ආකර්ෂණීය පිරිස කියන දේ. පක්ෂයේ පහළ අයත් පරම සත්‍යය කියලා විශ්වාස කළේ ඒ අය කියන දේ. ඒ අය ආරක්ෂා කරගත්තා. ඒ අයට හොඳ ජීවිත ලබා දුන්නා. ඒ අපි වෙනුවෙන් හිතන්න. අපි වෙනුවෙන් හිතන්න අපි ඔවුන්ව නඩත්තු කළා  

මාක්ස්වාදයේ කියනවානේ ආගම අබිං කියලා. හැබැයි පක්ෂයට බැඳුණාම ඒකේ සාමාජිකයනුත් අබිං කෑවා වගේම තමයි. ආගම අත්ඇරියාට මොකද පක්ෂය ආගම වගේ වැලඳ ගන්නවා. එහි නායකවරු දෙවිවරු වෙනවා. මම කිව්වේ හිතන එකත් බාර දුන්න වැඩ කරන පිරිසක් පක්ෂයේ ඉන්නවා කියලා. ඉතින් අර අය හිතන්නේ කොහොමද ඒක තමයි මේ අය කරන්නේ. කාණු කපන්නද, පෝස්ටර් ගහන්නද, ඕනෑ වැඩක් කරනවා. ඉතින් කවුරුහරි පක්ෂය දාලා ගියොත් අර හිතන අය කියනවා අන්න ද්‍රෝහීන්, පාවා දුන්නා කියලා. අර වැඩ කරන අය ඇවිත් ගහනවා. ඒ අය අර හිතන අය වෙනුවෙන් ගහන්නත් බලාගෙන ඉන්නේ. අපි කියන්නේ හිතන අය වැඩ කරන අය කියලා දෙගොල්ලක් ඕනෑ නෑ. වැඩ කරන අයටම හිතන්න පුළුවන්නේ. ඒ අයම හිතපු දෙන්. දැන් අපි කරන්නේ ඒක.

අපි විජේවීරව අමතක කරන්නේ නෑ. ඔහුට දෙන වටිනාකම උපරිමයෙන් දෙනවා. ඒත් ඔහු නායකයා ලෙස පිළිගන්න අපි කැමති නැහැ. ඔහුට වැරදුණු තැනුත් අපි හඳුනාගෙන තියෙනවා. අපි සාමූහිකයක්. වමේ එකතුවක්. ඒ නිසා එක්කෙනෙක් උඩින් තියාගෙන එයා අදහන තැන අපි නෑ " 


පුබුදු ජාගොඩ කියන පරිදි ජවිපෙ පහළ සාමාජිකයෝ යනු සිතීම නායකයන්ට බාර දුන් පිරිසකි. නට්සි පක්‍ෂයේද තිබුනේ මෙවැනි ව්‍යූහයකි. නට්සි පක්‍ෂයේ සිටි අති බහුතරය වූ පහළ සාමාජික ස්ථරය සිතීම හිට්ලර් , ගොබෙල්ස් ඇතුළු නට්සි අභ්‍යන්තර කවයට භාර දී තිබුන අතර පක්‍ෂය තුල ස්වාධීන හඞක් හෝ විවේචනයකට ඉඩක් නොතිබුණි. අභ්‍යන්තර කවය යම් සාමාජිකයෙකු සතුරෙකු හෝ ද්‍රෝහීයෙකු ලෙස නම් කලහොත් සකල විද පක්‍ෂ සාමාජිකයෝ එම පුද්ගලයාව බැහැර කරන අතර ඔහුව හෝ ඇයව ශාරීරිකව සහ මතවාදීව විනාශ කරති. හිට්ලර් ගේ නට්සි පක්‍ෂයේ ඉපැරණි සාමාජිකයෙකු මෙන්ම පක්‍ෂයේ  SA (Sturmabteilung)  අංශයේ ප්‍රධානියා වූ එර්නස්ට් රොම්ව ද්‍රෝහියෙකු ලෙස නම් කොට මරා දමන්නේ මේ ආකාරයෙනි. මෙවැනිම සන්දර්භයක් යටතේ ජවිපෙ වෙනුවෙන් දහඩිය ලේ හෙලූ නන්දන ​ මාරසිංහව​ ද්‍රෝහියෙකු ලෙස නම් කොට ඝාතනය කරනු ලබයි. 

අළුත් ගමනක් යාමට අනුර කුමාර දිසානායක යටතේ ජවිපෙ නව ප්‍රති විවූහගත කිරීමක් කරන්නේ නම් මෙවැනි අන්තවාදී ප්‍රවනතා බැහැර කල යුතුය​.   



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, February 27, 2017

වෛද්‍ය දයානාත් රණතුංග ; අපේ කාලයේ සමාජ ක්‍රියාකාරිකයා



වෛද්‍ය  දයානාත් රණතුංග මා මුලින්ම හඳුනා ගත්තේ එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේදීය​. එවකට ඔහු ඉන්ටර්න්වරයෙකු වූ අතර මම ඔහුගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වූයෙමි. 

සීමාවාසික වෛද්‍යවරයෙකු කාලයේ සිටම මම ඔහු සතු වූ සන්නිවේදන කුසලතාවයන් නිරීක්‍ෂණය කලෙමි. එසේම ඔහු රෝගීන් විශයෙහි ඉතා සංවේදී වෛද්‍යවරයෙකු විය​. 

වෛද්‍ය  දයානාත් රණතුංග සිය මුලික වෛද්‍ය අධ්‍යාපනය පේරදෙණිය වෛද්‍ය පීඨයෙන් ලබා ගත් අතර ඉන් පසුව වෙනත් දිශාවකට යොමුවෙමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳවත් කොලඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳවත් ප්ශ්චාත් උපාධි පාඨමාලා  හදාරනු ලැබිය. ඔහුගේ භූමිකාව වඩා ප්‍රචලිත වනුයේ වෛද්‍යවරයෙකුට වඩා සමාජයෙන් කොන් කරන ලද  ප්‍රජාවන් වෙනුවෙන් ක්‍රියාකරන සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසය. 

2005 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමග සම්බන්ධ වන ඔහු 2016 මැද එම සංවිධානයෙන් ඉවත් වනවිට එක්සත් ජාතීන්ගේ ඒඩ්ස්  පිලිබඳ ඒකාබද්ධ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. වර්තමානයේ ඔහු ස්වාධීන  සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාත්මකවේ. 

ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන සහ ලිංගික වෘත්තීන් වල නිරත වන පුද්ගලයන් කොන් කරන  සමාජයක මෙවන් කතිකාවක් ගොඩනැගීම ඉතා අසීරු සහ අවධානම් ක්‍රියාවකි. එවන් පරිසරයක ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ලිංගික වෘත්තිකයන් ගේ  සංවිධානය බිහිකිරීමට පුරෝගමි වන අතර එවකට එක් ජාතික පුවත්  පතක් මගින්  සිය දේශපාලන අවශ්‍යතාවයන් මත සමාජයට නිරාවරණය කරන ලද සාමකාමී ප්‍රජාවගේ සංවිධානයක් වෙනත් ස්වරූපයකින් ස්ථාපිත කිරීමටද  මුල් විය. ඊට අමතරව HIV සමග ජීවත්වන කාන්තාවන්ගේ සංවිධානයක් ආරම්භ කිරීමටත් වෛද්‍ය  දයානාත් ප්‍රමුඛ විය. 

HIV නිසා සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව නිරතුරුව පෙනිසිටිමින් සමාජ කතිකාවක් ගොඩනැගීමට ඔහු නිරතුව දායක වූ අතර කුලියාපිටිය සිසුවාගේ අධ්‍යාපන අයිතිය සුරැකීමට ඔහුගේ මැදිහත්වීම අමතක කල නොහැක. ඊට පාදක වූ ශ්‍රේෂ්ටධිකරණය තීන්දුව HIV බලපෑමට  හසුවූ පුද්ගලයින්ගේ අධ්‍යාපන අයිතිය උදෙසා වූ ආසියාවේ ප්‍රථම නඩු තීන්දුව බවට සැලකේ. ගෝලීය අරමුදල ලෝක බැංකුව සහ එකසත් ජාතීන්ගේ සංවිධානය හරහා HIV නිවාරණ වැඩ සටහන් සහ මුල්‍යමය සහ තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඔහු මහගු සේවයක් ඉටු කළේය. ඔහු දැනටත් HIV සහ ප්‍රජනන සෞඛ්‍යය  අධ්‍යාපනය වෙනුවෙන් හඬනගන සමාජ ක්‍රියාකාරිකයෙකුද ලෙස ලාංකීය සමාජයට සේවය කරමින්. සිටියි.


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 


මග මරුවෙකුට පාඩමක්




2001 වසරේදී ඉරිදා දිනයක සේවා මුරය අවසන් කොට මම හලාවත රෝහලේ බාහිර රෝගී  අංශයේ වෛද්‍යවරයා සමග සංවාදයේ යෙදී සිටියෙමි. ඒ වන විට රෝගීන් පැමිනීම අඩුවී තිබූ නිසා බාහිර රෝගී අංශය සන්සුන් ලෙස දිස් විය​. 

එහෙත් මේ සන්සුන්භාවය බිඳ දමමින් පුද්ගලික බස් රථයකට යටවූ මැදි වියේ මිනිසෙකු බාහිර රෝගී  අංශයට ගෙන එන ලදි. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා හදිසි අණතුරට ලක්වී සිටි රෝගියාට ආපත්ති ප්‍රතිකාර දීමට තැත් කලද ඒ වන විට ඔහු මිය ගොස් තිබුණි. මේ නිසා ඔහුගේ දේහය ස්ට්‍රෙචර් එක බාහිර රෝගී අංශයේ කොනක තබා රෙද්දකින් වසා වසන ලදි. 

ඉන් ස්වල්ප මොහොතකට පසුව පහර කෑමට ලක්වූ අයෙකුද බාහිර රෝගී  අංශයට ගෙන එන ලදි. පසුව සොයා බැලීමේදී මොහු පුද්ගලික බස් රියැදුරා බවත්  රිය අණතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුට පහර දී තිබෙන බවත් හෙළි විය​. ඔහුගේ තුවාල එතරම් දරුණු නොවීය​. එම නිසා ඔහුට බෙහෙත් දමා බාහිර රෝගී අංශයේ පුටුවක වාඩි කොට තබන ලදි. 

එම මොහොතේදී බාහිර රෝගී අංශයට ආ හෙදියක් පුද්ගලික බස් රියැදුරාට බැණ වැදුනාය​. ඇය මේ අණතුර දැක තිබූ අතර පුද්ගලික බස් රියැදුරා ඉතා අපරික්‍ෂාකාරී ලෙස බස් රථය වේගයෙන් ධාවනය කරමින් කහ ඉර මත පාර මාරු වෙමින් සිටි මිනිසාව යටකර දැමූ බව කීවාය​. මෙය ඇසීමෙන් පසුව පුද්ගලික බස් රියැදුරාට ජීවිතයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට අප තීරණය කලෙමු. හෙදියගේ කළබලය අවසන් වූ විගසම ඔහුව බාහිර රෝගී අංශයේ කොණට රැගෙන ගොස් රෙද්ද ඉවත් කොට ස්ට්‍රෙචර් එකේ ලේ පෙරාගෙන වැතිරී සිටින ඔහුගේ දඩයම ඔහුට පෙන්නුවෙමු. 

හිස දෙපළු වී ලේ වලින් නැහැවී සිටින මෘත ශරීරය දැක ඔහු තැති ගත්තේය​. මින් මතු මෙලෙස අපරික්‍ෂාකාරී ලෙස බස් එලවා මිනිසුන් බල්ලන් බලලුන් මෙන් මරා නොදමන ලෙසට බාහිර රෝගී  අංශයේ වෛද්‍යවරයා ඔහුට තදින් අවවාද කලේය​. 

අප විසින් කරන ලද මේ ක්‍රියාව හරිද  වැරදිද කියා නොදනිමු. මෙය නොයෙකුත් අතට විවාද කල හැකිය​. අවිනීතව මිනිසුන් යට කරමින් පුද්ගලික බස්  පදවන මගමරුවන්ට ජීවිතයක වටිනාකම කියා දීමට එදා අප තැත් කලෙමු. එහෙත් අපගේ ප්‍රයත්නය සාර්ථක වීද කියා නොදනිමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, February 26, 2017

ප්‍රියන්ත , තුංගසේන මාස්ටර් සහ බෘස් ලී

මහානාමයේ ඉගෙනුම ලැබූ ප්‍රියන්ත පදිංචිව සිටියේ හැව්ලොක් ටවුමේ පොලිස් නිවාස වලය​. ඔහුගේ පියා පොලිස් නිලධාරියෙකි. කුඩා කාලයේ ප්‍රියන්තගේ මව මිය යන ලදි. ඒ අඩුව පුරවන ලද්දේ පියාගේ සොහොයුරියක විසිනි. ප්‍රියන්ත දඩබ්බරයෙකි. වලි රාජයෙකි. කොල්ලන් සමග පිස්සු කෙලීමේදී ඔහු නැතුවම බැරි චරිතයකි. එසේම හොඳ කතා කාරයෙකි. අප හමු වන්නේ කොලඹ මහජන පුස්තකාලයේ පාඩම් කාමරයේදීය​. පාඩම් කිරීමෙන් පසු තේ බීමට යන අප ප්‍රියන්තගේ බයිලා වලට සවන් දෙමින් ලේ පිරිසිදු කර ගන්නෙමු. 

වරක් ආනන්දේ කුසල් මෙන්ඩිස් අළුත් ඉතලියානු සපත්තු දෙකක් දාගෙන ආ අතර මම එම සපත්තුවේ ඩිසයින් එක බලනු වස් ඔහුගේ සපත්තුව මඳක් ඔසවා එය නැරඹුවෙමි. එවිට ප්‍රියන්ත කුසල් මෙන්ඩිස්ගේ අනෙක් කකුලද ඉස්සුවේය​. මේ නිසා කුසල් මෙන්ඩිස් කපා දමන ලද කෙහෙල් ගසක් සේ වැටුණු අතර අප ඔහුව නැගිට්ටුවෙමු. ඉන්පසු කුසල් ප්‍රියන්තට අම්මා මෝ නැතිව බැණ වැදුනේය​. 

මේ සමයේ අගමැති ප්‍රේමදාසගේ මෙහෙයවීමෙන් ටවර්හෝල් ගායක ගායිකාවන් මහජන පුස්තකාලයේ  දේශන ශාලාවේ සංගීත සාජ්ජයක් පැවැත්වීය​. මේ සංගීත වැඩසටහනේ ශරලා බායි , ලක්‍ෂ්මී බායි වැනි ප්‍රකට චරිත ගීත ගායනා කලහ​. වැඩ සටහන අතර තුර  පැරණි ටවර් හෝල් ගායකයෙකු වූ තුංගසේන මාස්ටර්ද ගීයක් ගැයීමට පැමිනෙන බව නිවේදකයා කීවේය​.  

මේ නිවේදනය ඇසූ වෙනත් ප්‍රියන්ත නම් යාළුවෙක් ; මචං තුංගසේන මාස්ටර් ඉන්නේ අපේ ස්කීම් එකේ ( මේ ප්‍රියන්ත මාලිගාවත්ත මහල් නිවාස වල ජීවත් වූ අතර කොලඹ නාලන්දා විද්‍යාලයේ සිසුවෙකි) මෑන්ට තොංගලේ මාස්ටර් කිව්වම නප්පියට තද වෙලා ගඩොල් බාග වලින් ගහවා යැයි කීවේය​. 

මාලිගාවත්තේ ප්‍රියන්ත මෙය කීවේ වැරදි ප්‍රියන්ත කෙනෙකු ඉදිරියේය​. මේ කතාව ඇසූ  හැව්ලොක් ටවුමේ පොලිස් නිවාසයේ ප්‍රියන්ත තුංගසේන මාස්ටර් ගීතය ගයා අවසන් වී ස්ටේජ් එකෙන් බසින විට වේදිකාව අසලට ගොස්  "තොංගලේ මාස්ටර්" කියා කෑ ගැසුවේය​. මෙය ඇසුනු තුංගසේන මාස්ටර් දණ්ඩෙන් පහර ලත් නයෙකු සේ කිපී සෙනග මැද " තොගෙ අම්මට.... වේස කොල්ලා .. කියා හැව්ලොක් ටවුමේ පොලිස් නිවාසයේ ප්‍රියන්තගේ බෙල්ල මිරිකීමට පැන්නේය​. එවිට අතේ තිබූ පොත් ද බිම දමා ප්‍රියන්ත පැන දිවේය​. හුස්මක් කටක් නොමැතිව දිව ගිය ප්‍රියන්ත නතර වූයේ විහාර මහ දේවි පාක් එකේ තිබූ ප්ලේන් එක අසලය​. ඉන්පසු අපි ප්‍රියන්තගේ පොත් ටික අහුලාගෙන ගොස් ඔහුට දුන්නෙමු. 

ප්‍රියන්ත දහම් පාසල් ද ආවේය​. වරක් උදේ වරුවේ දහම් පාසල කට් කොට පළා යාමට උත්සහ ගත් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු මෙන්ම තාවකාලික ආචාර්‍යවරයෙකු ලෙස කටයුතු කල තැනැත්තෙකුගේ අත් අඩංගුවට පත් විය​. ප්‍රියන්ත දිගින් දිගටම ඔහු සමග බහින් බස් වෙමින් මිදී යාමට උත්සහ ගත්තේය​. මෙම පුද්ගලයා  " අහන්ඩ " කියන වචනය කීවේ "හාන්ඩ " කියාය​. ළමයි උනාම කියන දේ හාන්ඩ ඕනේ කියා ඔහු ප්‍රියන්තගේ අතින් ඇද්දේය​. ප්‍රියන්ත ඔහුට " මම අන්තිම පාර කියන්නේ 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන   සිද්ධිය මම කියන්නද ? කියා තාවකාලික ආචාර්‍යවරයාට තර්ජනය කලේය​. එවිට තාවකාලික ආචාර්‍ය " නෑ ඉතිං ඕවා මෙතෙන්ට අවශ්‍ය නෑනේ " කියා ප්‍රියන්තව අත හැරියේය​. කුරුල්ලා මිටෙන් මිදුනාක් මෙන් ප්‍රියන්ත වජිර පාර දිගේ දුව ගොස් ගාළු පාරට අවතීර්ණ විය​. 

ඉන් සතියකට පසුව මට ප්‍රියන්ත හමු විය​. " මචං මොකක්ද අර 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන   සිද්ධිය කියලා හාන්ඩකාරයාව උඹ බය කලේ. ඇත්තට මොකක්ද 1979 අගෝස්තු විසි දෙවෙනිදා වෙලා තියෙන්නේ ? කියා මම ඇසුවෙමි. 

" මමත් දන්නේ නෑ මචං මෑන්ට 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන  සිද්ධිය  කියනවා කිව්වම සරෙන්ඩර් වෙනවා කියලා මට යාළුවෙක් කිව්වා . ඒක නිසා තමයි මම එදා එහෙම කියලා මෑන්ව සරෙන්ඩර් කලේ " කියා ප්‍රියන්ත කීවේය​. ඉන් පසු අපි කොල්ලන් මුණ ගැසුනු විට "ළමයි උනාම කියන දේ හාන්ඩ ඕනේ " යනුවෙන් එකිනෙකාට කියා ගත්තෙමු. 

ප්‍රියන්ත අනුලා එකේ කෙල්ලෙක්ට ට්රයි එකක් දුන් අතර සපෝටර් ලෙස රැගෙන ගියේ මාව ය​. එය තරමක් දුරට හරි ගිය අතර ඇතැම් දින වල කෙල්ල මහජන පුස්තකාලයට පැමිණ ප්‍රියන්ත සමග කතා බස් කලාය​.  

ප්‍රියන්තගේ පියා බොක්සිං ක්‍රීඩකයෙකි. ඒ නිසා බොක්සිං උණ ඔහුට තිබුනේය​. ඒ කාලයේ මම නාලන්දාවේ ගොජු කරාටේ සංගමයට බැඳී කරාටේ පුහුණු වෙමින් සිටියෙමි. මම කරාටේ කරන බව ප්‍රියන්ත දන්නේය​. 

දිනක් සැවෝයි එකේ පෙන්වූ බෘස් ලී ගේ වේ ඔෆ් ද ඩ්‍රැගන් චිත්‍රපටය බලා සවස් වරුවක ප්‍රියන්ත  මහජන පුස්තකාලයට ආවේ කොල්ලන් සෙට් එක හමු වීමටය​. වේ ඔෆ් ද ඩ්‍රැගන් උණුසුම ඉහට ගසා සිටි ප්‍රියන්තට මා සමග  කරාටේ ගහ ගැනීමට අවශ්‍ය විය​. මම දිගින් දිගටම "පිස්සු කෙලින්ඩ එපා ප්‍රියන්ත"  කියා කීවද ඔහු එය ඇසුවේ නැත​. " මොකක්ද බං උඹ කරාටේකාරයෙක් නේද කියා ප්‍රියන්ත මා පසු පස ආවේය​. අනෙකුත් කොල්ලන් ද මේ ෆන් එක වටවී බලා සිටියහ​. 

හරි එහෙනම් විනාඩි දහයයි ගහ ගන්නේ කියා මම කරාටේ ඇක්‍ෂන් එකකට ආවෙමි. මින් කුල්මත් වූ ප්‍රියන්ත බෘස් ලී මෙන් කමිසය ගලවා ඩ්‍රැගන් ඉරියව්වට ආවේය​. එකෙහින්ම මා පැත්තකට පැන අත්ලෙන් චටස් කියා ප්‍රියන්තගේ නිරුවත් පිටට කිස් කන පහරක් දුන්නෙමි. පහරේ වේදනාව නිසා ප්‍රියන්ත කරාටේ බරාටේ අමතක කොට පිට අතගා ගනිමින් කමිසය ඇඳ ගත්තේය​. ඈත සිට කොල්ලන් ගේ විකාර නරඹමින් සිටි කෙල්ලන් පිරිසක් ලේන්සු වලින් මුව වසාගෙන සිනාසුනහ​. ඉන්පසු අපි කොල්ලන් සෙට් එක ප්‍රියන්තවද රැගෙන කැන්ටිමට ගොස්  කැන්ටිමේ මේසයක් බදු ගෙන සිංදු කීවෙමු. 

අප අතර සිටි එක කොල්ලෙක් ශේකිං ස්ටීවන්ස් ගේ ගීත ගයන්නෙකි. තවත් එකෙක් දයාරත්න රණතුංග ගේ ගීත ගයන්නෙකි. ප්‍රියන්ත කීවේ බයිලාය​. මේ නිසා අපි විවිධ සිංදු කියමින් රාත්‍රී බෝ වන තෙක් කැන්ටිමේ සිටියෙමු. 

1984 වසරේ වෙසක් දිනයේදී වෙසක් බලන්නට යමු කියා ප්‍රියන්ත මා කැටුව ගියේය​. ​ අපි දෙහිවල,  වැල්ලවත්ත , කිරුලපන ප්‍රදේශ වල ඇවිදිමින් වෙසක් බැලුවෙමු. වෙසක් බලමින් සිටින ගමන් ප්‍රියන්ත මාවත් ඇදගෙන කිරුලපන ප්‍රදේශයේ ගරා වැටුණු ගෙයක් සහිත ඉඩමක් අසලට ගොස් එහි සිටි මුරකාරයාට කතා කලේය​. මුරකාරයා ආ පසු  ප්‍රියන්ත ඔහුට මුදල් වගයක් දුන් අතර මුරකාරයා ඔහුට යමක් ඔතා ගිනිපෙට්ටියක් සමග දුන්නේය​. එය අතින් ගත් ප්‍රියන්ත ගරා වැටුණු ගෙය තුලට ගියේය​. 

ප්‍රියන්ත ගංජා ගහන බව මම දැනගත්තේ එදාය​. " ඔයා බොන්නේ නැද්ද ? කියා  මුරකාරයා මගෙන් ඇසීය​. මම හිස සලා "නැහැ"  කියා කීවෙමි. ගරා වැටුණු ගෙය තුලට ගිය ප්‍රියන්ත විනාඩි විස්සකට පසුව ආවේය​. " මචං කොල්ලන්ට කියන්ඩ එපා" කියා ඔහු චෙස්ටෝ ටොෆියක් කටේ දමා ගත්තේය​. ඉන්පසු අපි තෝසේ කඩයකට ගොස් තෝසේ සහ බෝඞා කා ප්ලේන්ටී එකක් බී නිවාස කරා ගියෙමු. 

1985 උසස් පෙළ විභාගය කිට්ටු කරන විට ජවිපෙ තරුණයන් කිහිප දෙනෙක් කොකු ගැසීම සඳහා මහජන පුස්තකාලයට ආවෝය​. ප්‍රියන්ත එක් තරුණයෙකු සමග නිතරම කතා කරමින් සිටියේ‍ය​. මේ වන විට ඔහුගේ කෙල්ල ද ප්‍රියන්ත ගෙන් ඈත් වී සිටි නිසා ඔහු රැඩිකල් තරුණයන් වෙත ආකර්ශණය වූවා විය යුතුය​. අගෝස්තු මාසය කිට්ටු වන විට අප සියළු දෙනා පොත් අතර කාලය ගත කල නිසා ප්‍රියන්තව දුටුවේ කලාතුරකිනි. ඔහුද අප සමග විභාගයට සූදානම් වූ නමුත් උනන්දුවෙන් පාඩම් කටයුතු නොකලේය​. 

1985 උසස් පෙළ විභාගයෙන් පසු මට ප්‍රියන්ත හමු වූයේ වරක් හෝ දෙවරක් පමණි. 1986 වන විට මම විදේශ ගත වූයෙමි. ඉන් පසු ලංකාවට කිහිප විටක් මා ආ නමුදු මට ප්‍රියන්තව මුණ ගැසුනේ නැත​. 

අද දිනයේ  ප්‍රියන්ත කොහේ සිටිනවාද කියා මම නොදනිමි. ඔහු 88-89 භීෂණ කාලයේ ටයර් එකක් මත ජීවිතය අත හැරියා කියා සිතන්නට මම මැළි වෙමි. ප්‍රියන්ත වැඩ කාරයෙකි. ඉගෙනීම එතරම් ප්‍රිය නොකලද ඔහු ස්ට්‍රීට් ස්මාට් හෙවත් සවයිවල් කලාව දන්නෙකි. සමහර විට ඉතාලිය වැනි රටකට ගොස් ඔහු අප්‍රසිද්ධියේ සිටිනවා විය හැකිය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, February 25, 2017

අපේ රටට ;සමාජයට ආර්ථිකයට අවශ්‍ය ත්‍රීමා විතානලාද ? ධම්මික පෙරේරලාද ?


අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දී  එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාණ , වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ   යන සිසුන් බිලි බෝයිස්ලා කියා මම සිතමි. ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ වෙති. 

ත්‍රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව   ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්‍ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය​. 

වරක් රාගම රෝහලේදී මිය ගිය කොල්ලූරේගේ ලඟම ඥාතී වෛද්‍යවරයෙක් මට  හමු විය. කොල්ලූරේ ගියේ අනවශ්‍ය මුග්ධ ගමනක් බව ඔහු කීවේය. 

මේ සිසුන් මිය ගිය දුක තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ ඥාතීන්ට පමණි. අනෙකුත් ඇත්තෝ මේ මළකඳන් තමන් ගේ සෝෂල් ප්‍රාග්ධනය බවට පත් කර ගත්හ​.​.  

අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල කෑගසන මල්ලිලා වෙතටයි ; ඔය පාරවල් වල යාමට පෙර උඹලාව ෆෝම් කරන එවුන් ඉස්සෙල්ලා යවපල්ලා 

පහත දැක්වෙන්නේ රවීෂ තිලකවර්ධන විසින් ඔහුගේ මුහුණු පොතේ තබන ලද සටහනකි 


මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්.

වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්ය පවුලක ඉපදිලා එන්ඩීටී අධ්‍යාපනය ලබද්දී පටංගත්තු ජැක්පොට් ව්‍යාපාරයක් හරහා දියුණු වෙලා අද වෙද්දි ලංකාවෙ නිල හා නොනිල සියලුම වාර්ථා වලට අනුව මුල්ම ධනපතියා වෙච්චි දොන් ධම්මික පෙරේරා.

අසූ ගණං වල ත්‍රීමා විතානලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු සටන අවසන් වෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගැනීමේ උත්සාහය පරද්දලා. ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වෙනකන්ම මුදල් ගෙවා අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගත හැකි ආයතන ලංකාවෙන් බිහි වෙන්නෙ නෑ.

ඊ ළඟට ධම්මික පෙරේරා. ත්‍රීමා විතනලාගේ ජයග්‍රහණයත් එක්ක වැළලිලා ගිය පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ධම්මික ආපහු කරලියට ගේනවා. අධ්‍යාපන උසස් අධ්යාපන අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි කරන්න ඉඩ නොදෙන එම ආයතන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සමාගම් ලෙස ලියාපදිංචි කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එහි සභාපති වරයාව හිටි ධම්මික පෙරේරා කටයුතු කරනවා. තව අවුරුදු විස්සකිං ලංකාවෙ ඉතිහාසෙ ලියන දවසකදි ඒක අමතක කරන්න බැරි ඓතිහාසික තීන්දුවක්.

කොහොම හරි මේක මට වැදගත්ව් වෙන්නෙ මෙහෙමයි. අදක්ෂ කම සහ වෙනත් හේතු ගණනාවක් නිසා උසස් පෙළ අසමත් වෙන මට සල්ලි දීලාවත් උපාධියක් ගන්න උපාධි ක්ඩයක් 2007දි හොයා ගන්න වෙන්නෙ නෑ. ඉතිං මට සිද්ධ වෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඒක සාර්ථකව අවසාන කරලා ක්ෂේත්‍ර අත්දැකීම් වලින් පස්සෙ මම එම ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් වෙනවා.පහුගිය අවුරුදු හය ඇතුළෙ ලංකාවෙ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ විවිධ සුදුසුකම් ලබන දහසකට අධික පිරිසක් යම් මොහොතක මගේ ශිෂ්‍යයන් බවට පත්ව ඉඳලා තියෙනවා. ඔවුන් හැමෝම අද මේ රටේ ධනය උත්පාදනය කරන ශ්‍රම බලකායට අයත් වෙද්දී තව සියකට ආසන්න පිරිසක් මැද පෙරඩිග සහ බටහිර ඉඳන් එම ක්ෂේත්‍රයේ රැකියා වලිං රටට මුදල් එවනවා.

ඒත් නිකමට හරි එදා ත්‍රිමා විතානලා සටන පැරදිලා අසූ ගණං වල ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගත්තා නං මට මීට වඩා ප්‍රමිතියකින් යුතු ජාත්‍යාන්තරව පිළිගත් උසස් අධ්යාපන ආයතනයකින් ඉගෙන ගෙන වඩා වැඩි දෙයක් කරන්න තිබුණාය කියල හිතෙනවා. 2010 ඉඳලා අද වෙනකං විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලික උපාධි අරං රටට මුදල් උත්පාදනය කරන අයගේ ගාණ බැලුවාම අසූ ගණං වල ඉඳං එම අවස්ථාව වැහිලා යාම නිසා ඒ දේ කර ගන්න බැරිවුන අයට එම අවස්ථාව ලැබිලා රටේ දියුණුවට වඩා ඵලදායීව එකතු වෙන්න පුලුවං වුනා නං අද මේ රට කොයි තරං දියුණු වෙන්න ඉඩ තිබුණාද කියලත් හිතෙනවා.



කොහොම හරි මට වගේම අපේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක Manjula Samarasekara සොයුරා වගේ අයටත් කළමණා කරන ක්ෂේත්‍රයෙන් ලෝකය පිළිගත් විශ්ව විද්‍යාල වලිං මාස්ටර්ස් සුදුසුකම් ලබා ගන්න හේතු වෙන්නෙ ධම්මික පෙරේරා විසින් ගෙනෙන ලද ප්‍රතිසංස්කරණය. ඔහු ලබා දුන් ඉඩකඩ නිසා පස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ ඒවාට පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් මැදිහත් නොවී ඉන්න බැරි වෙනවා.

සාරාංශය මෙහෙමයි. අදටත් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් මිසක් බී එස් සී හෝ බී ටෙක් උපාධියක් නෑ. ඒ ත්‍රීමා විතානලා දැන හෝ නොදැන එදා කල තක්කඩි වැඩේ නිසා. ධම්මික පෙරේරා නිසා අද ඒක ලබා ගන්න මට අවස්ථාව තිබුණත් වයස, මානසිකත්වය සහ වෙනත් සාධක නිසා මට ඒක කරන්න දැං බෑ. ඒ වගේම ත්‍රීමා විතානලාගේ කාළකණ්නි වැඩේ නිසා උපාධියක් ගන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් අරගෙනත් පස්සෙ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් තවත් කාලය මුදල් වැය කරලා නැවතත් බීඑස්සී උපාධි හදාරපු යාලුවො බර ගානක් මට ඉන්නවා.

ඒ අතරින් ත්‍රීමා විතානලාගේ වැඩේ නිසා බීඑස්සී එකක් කරන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් කරලා පස්සේ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් කාලය මුදල් වියදම් කරලා බීඑස්සී එකකුත් කරලා එම සුදුසුකම හරහා "කොළඹ විශ්ව විද්‍යාලයෙන්" ආචාර්‍ය උපාධි ප්‍රවේශයකුත් ලබා ගත්තු මිතුරෙක් මගේ මේ ෆේස්බුක් ගිණුමෙත් ඉන්නවා. නිකමට හිතන්න අසූ ගණං වල ත්‍රීමා විතානලා සටන දිනූ තැන ඉඳලා ධම්මික පෙරේරා මේ අවස්ථාව ලබා දෙනකං කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධි ගන්න පුලුවං කම තියෙද්දිත් නිරපරාදේ වැළලී ගිය තවත් ජීවිත කීයක් තියෙන්න ඇතිද?? මට වගේ මේ ටික වචන වලට පෙරල ගන්න බැරි සිය දහස් ගාණක් මේ පොළොවෙ ජීවත් වෙන බව මම දන්නවා. ඒ අය වෙනුවෙන් කවුරුත් උපවාස උද්ඝොෂන කරන්නෙ නෑ.

මේ ගැන මේ විදියට කතා කරද්දි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන කඳවුර සලිත වෙනවා. හරියට මිනී ඇට කැබැල්ලක් හොලවලා වැහි වස්සන්නෙ කොහොමද කියලා අහන කොට සාම්ප්‍රදායික බෞද්ධයෝ සලිත වෙලා "අනේ අපොයි බුද්ධාගමට මෙහෙම අපහාස කරන් කාළකණ්ණියොත් ඉන්නවද දෙයියනේ" කියලා ඔලුවෙ අතගහ ගන්ඩ විදියටම, "කුරුසෙට ඇණ ගහද්දි දේවියන් වහන්සේගෙං චාන්ස් එකක් ගන්න බැරි වුන කෙනාගෙන්ද අපි දේවියන් වාන්සේගේ පිහිට ඉල්ලන්නෙ" කියල අහද්දි කතෝලිකයෝ සලිත වෙන විදියටම."අවුරුදු නමයක පොඩි ගෑනු දරුවොන්ට බාලාපරාධ කරපු එකෙකුගෙන්ද මිනිසාගේ විමුක්තිය ගැන අහන්නෙ" කියලා අහන කොට ඉස්ලාම් භක්තිකයො සලිත වෙන විදියටම මේවා දැක්කාම වාමාංචිකයෝ සලිත වෙනවා. "ත්‍රීමා විතාන වගේ ඓතිහාසික ශිෂ්‍ය වීරයෙකුට වඩා ධම්මික පෙරේරා හොඳයි කියලා කියන එවුනුත් මේලෝකෙ ඉන්නව නේද දෙයියනේ" කියලා අකම්පාල වෙන කමෙන්ට් කිහිපයක්ම මේ පෝස්ට් එකටත් වැටෙන්න නියමිතයි.

කොහොම හරි බොටම් ලයින් එක මේකයි. අවුරුදු විසි ගාණක් තිස්සෙ මනුස්සයකුට සල්ලි දීලා උපාධියක් අරං තමුංගෙ ජීවිතෙත් සාර්ථක කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා මිය ගිය ත්‍රීමා විතානගේ නම කියන කොට අපේ ඔලුවට එන්නෙ වීරයෙක්. හැබැයි දාස් ගාණකට අධ්‍යාපන අවස්ථා ලබා දීලා එම අධ්‍යාපනයෙං මිනිස්සුන්ට ජීවත් වෙන්න රට දියුණු කරන්න ඉඩ හදලා දීපු ධම්මික පෙරේරාගේ නම ඇහෙනකොට අපේ ඔලුවට එන්නෙ ද්‍රෝහියෙක්. වංචාකාරයෙක්.අවුරුදු හැත්තෑවකටත් වැඩි මූසල වාමාංශික දේශපාලනය අපේ ඔලු වල ඉතුරු කරපු ශේෂ පත්‍රය ඔන්න ඕකයි.

ප.ලි
විශ්වාස කල දේශපාලන දර්ශනය කොයිතරං නොමේරූ ගුණමකු නීෂේදනීය බලපෑම් රටට ගෙන ආ එකක් වූවත් පද්මසිරි ත්‍රීමා විතාන ඝාතනය යනු යළි යළිත් පිළිකුල් කල යුතු, හෙලා දැකිය යුතු අපරාධයකි

සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට



සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
තොට ඕක ආම්බාං කොරන්න බැහැ
ඉඳකිං ගැහුවා නේද කොම්පීටරෙන් 
උස්සලා සමන්ත කොළුවාගේ ඔළුවට
හිස් කබළ පැලිලා ලේ සිමෙන්තියේ
රතු පාටට ගලාගෙන යනවා 
බලපං උණු ලේ උකුවට ගලනවා 
මොලයේ සුදු පාට ලොඳ කොම්පීටරෙත්
කොළුවා බිම වැටිලා පණ අදිනවා
කකුලේ ගැස්මකුත් තියනවා 
කටින් නහයෙන් කහ පාට ශ්‍රාවයක් එනවා 
ගෙනියපං හනික කොළුවව ඉස්පිරිතාලෙට
ඇම්බියුලන්ස් එකටත්  යන්නට නොදී
ඒකත් හරස් කරගෙන උඹේ මාර සේනාව
සුජී මෙන්න වැන්දා උඹ​ට
කැම්පස් බිමේ කොළුවගෙ පණ යන්න පෙර 
යන්න දීපං ඇම්බියුලන්ස් එකට ඉක්මන​ට
සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
ඒ කොරලා පලයං තොලොංජිවී කුරුවිටට

Friday, February 24, 2017

ජය භූමි කරා යාමට



පින් කෙතක ඉපදුනු අපි
ළමයා පාසලට දමන්න හොර ඔප්පු සාදමු
රස්සාවක් ගන්න දේශපාලකයන්ට වඳිමු
උන්ගේ දෙපතුල් සෝදමු

පින් කෙතක ඉපදුනු අපි
විනයක් නැති රටක
විනයක් නොමැති ජනතාවක් සමග විඳවමු
උදේ හවා පාර තොටේ

පින් කෙතක ඉපදුනු අපි වෙමු
මෘගයන් අන්ධවූ
එකිනෙකා කා කොටා ගන්නා
ජාති පක්‍ෂ ආගම් වශයෙන් මරා ගන්නා

පින් කෙතක ඉපදුනු අපි
පාස්පෝට් විසිකර දමා
කෙහෙල් පහුරු සාදන්නෙමු
ඉතාලි යාමට
ට්‍රෝලර් වල නගිමු
ඔසී පැනීම​ට

පින් කෙත හෙළ රන් දෙරණේ
නැවත ඉපදුනොත් ආයෙත් වීසා ගනිමු
ජය භූමි කරා යාමට

Thursday, February 23, 2017

මාගේ මුස්ලිම් මිතුරන්

 

කුඩා කාලයේ සිට බහුවාර්ගික වටපිටාවක ජීවත් වූ මා හට මුස්ලිම් මිතුරන් බොහෝ වූහ​. එහෙත් මාගේ මුල්ම කුලුපග මුස්ලිම් මිතුරා වවුනියාවේ අයෙකි. මට ඔහුව හමු වන්නේ වවුනියාවේ අධ්‍යාපන කලාපයකදීය​. එය සිදු වූයේ මෙසේය​.  

1974 වසරේදී විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මාගේ මවට වවුනියාවේ අධ්‍යාපන කලාපයේ අධීක්‍ෂණ චාරිකාවක නිරත වීමට සිදුවේ.   එවකට දෙවන ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි මමද ඇය සමග වවුනියාවට ගියෙමි. අප නැවතී සිටියේ වවුනියාවේ ගුරු පුහුණු නේවාසිකාගාරයකය​. උදය වරුවේ මව ගුරු පුහුණු දේශන වලට ගිය අතර මම නේවාසිකාගාර වත්තේ තල්  ගස් අතර තනිවම සෙල්ලම් කරමින්  සිටියෙමි.  එවිට මගේ හුදකලාභාවය මකා දමමින් මොහොමඩ් නම් මගේ වයසේ ළමයෙකු මට හමු විය​. ඔහු ගුරු පුහුණුව සඳහා පැමිනි ගුරුවරයෙකුගේ දරුවෙකු විය යුතුය​. 

මගේ මතකය අනුව ඔහුට සිංහල තේරුණු අතර අපට භාෂා ගැටළුවක් නොවීය​. වැඩිහිටියන් රාජකාරී වැඩ වල නියුතු වෙත්දී අප දෙදෙනා එකට එක්වී සෙල්ලම් කලෙමු. එසේම තට්ටු කීපයකින් යුතු ගුරු නේවාසිකාගාරයේ  ඒ මේ අත දිව ගියෙමු. එසේම හින්දු දෙවිවරු සිටි ආගමික කාමරයකටද හිස් දමා සිරි නැරඹුවෙමු. දිවා ආහාරය එකට ගත්තෙමු. සවස් වන විට මොහොමඩ් සහ මම ඉතා තද මිතුරුදමකින් බැඳී සිටියෙමු. 

ඔහු මටම ගැලපෙන මිතුරෙකු විය​. කිසි විටක මා කියන දෙයට එරෙහි වී මා සමග රණ්ඩු කලේ නැත​. මා කියන සෙල්ලම් වලට ඔහු එකඟ වෙයි. අප කුඩා තල් ගෙඩියක් බෝලය ලෙස ගෙන ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. ෆ්‍රෙන්ච් ක්‍රිකට් අමුතු ආකාරයේ ක්‍රීඩාවකි. දණ ආවරණය කර ගනිමින් පන්දුවට පහර දිය යුතුය​. බෝලය දණහිසේ වැදුනොත්  අවුට් ය​. ​ කොලඹින් ගිය මා වවුනියාවේ මොහොමඩ්ට ෆ්‍රෙන්ච් ක්‍රිකට් කියා දී අප ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. 

අප දෙදෙනා තල් ගස් වලින් පිරි විශාල පිට්ටනියේ ඇවිද්දෙමු. පිට්ටනියේ කොනක තිබූ වේයන් බැඳි තුඹස් වලට ගල් විසි කොට දිව්වේ පෙණය පුප්පාගත් නාග රාජයෙකු තුඹසින් මතුවේ යන බිය නිසාය​.  තවද ගුරු නේවාසිකාගාරය අසල තිබූ කුඩා දෙමල ප්‍රාථමික පාසලටද ගියෙමු. එදින නිවාඩු දිනයක් නිසා සිසුන් පන්ති වල සිටියේ නැත​. අප දෙදෙනා පන්ති වල තිබූ ළමුන් ඇඳි චිත්‍ර මෙන්ම ඔවුන් ගේ අත්කම්ද නැරඹුවෙමු. එක් අත් වැඩකට මගේ සිත ගියේය​. එය මැටි පුවරුවක සදා තිබූ හේනකි. ඇත්ත ගසක කුඩා අත්තක් මැටි පුවරුවේ ගිල්වා ගිනි පෙට්ටියකින් ගස උඩ සෑදූ ගෙයක් ද තනා තිබුනේය​. ඉරට වලින් හේනේ වැට සමන්විත විය​. මෙය නිර්මාණය කල සිසුවාගේ පියා හේන් ගොවියෙක් විය යුතුය​. මෙම අත්කමට මගේ සිත තදින් බැඳුනු අතර යළි කොලඹ පැමිනීමෙන් පසු මම පස් වලින් පුවරුවක් තනා අඩියක් පමණ උස ගසක් එහි සිටුවා ගිනි පෙට්ටියකින් ගස උඩ තැනූ ගෙයක් ද නිර්මාණය කොට අබේකෝන් ටීචර්ට පෙන්නුවෙමි.   

මෙලෙස දින කීපයක් ඇතුලත අපගේ මිතුදම වැඩී ගියේය.​එහෙත් හිටි හැටියේ මොහොමඩ් අතුරුදහන් විය​.  ගුරු පුහුණුව නිම කිරීමෙන් පසුව ඔහුගේ පියා ඔහු කැටුව යන්නට ඇති. එහෙත් එකිනෙකාගෙන් සමු ගැනීමට අපට නොහැකි විය​. එක් දවසක දිවා ආහාරය ගෙන පිට්ටනියට එන විටදී මොහොමඩ් සිටියේ නැත​. මම ඔහුව ගුරු නේවාසිකාගාරය පුරා සෙවුවෙමි.එහෙත් ඔහු සිටියේ නැත. ​ඉන් පසු සාංකාවෙන් මම තල් ගස් අතර තනිවම සෙල්ලම් කලේ ඔහු නැවත එයි යන අපේක්‍ෂාවෙනි. එහෙත් මොහොමඩ් ආවේ නැත​.   රාජකාරී වැඩ අවසන් කිරීමෙන් පසුව මගේ මව මා සමග යළි කොලඹ ආවාය​. කොලඹට එන තෙක් මම මාගේ මිතුරා ගැන කල්පනා කලෙමි. අද වූවද මොහොමඩ් පිලිබඳ මතකය මගේ සිතේ තැන්පත් වී තිබේ. ඔහු වැඩිහිටියෙකු වී  උතුරු නැගෙනහිර ජීවත් වනවා විය යුතුය​. 

මාගේ අසල්වාසීන් වූ ඉෆ්තිකා රෙන්සා,  ඩිල්ශාන් , අන්වර් සහ අනෙකුත් කොළුවන් සමග මම මාබල් හෙවත් ටීක්බෝල ගැසුවෙමි. වැලි පොලවේ හතරැස් කොටුවක් ඇඳ එහි මැද ජිල් නම් හිලක් තබා අප තරඟයට සෙල්ලම් කලෙමු. ඉලක්කයට හතරැස් කොටුව තුල තිබෙන ටීක්බෝලයකට ගැසිය යුතුය​. ටීක්බෝල කීපයකට වැදුනොත් දඩ වදී. එවිට එම  ටීක්බෝලය ද දමා බෝල සියල්ල අඩි පහක පමණ දුරක සිට කොටුවට විසි කල යුතුය​. ටීක්බෝලයක් කොටුව මධ්‍යයේ තිබෙන සිදුරට වැටුනොත් නියත දිනුමක් ලැබේ. මා ලඟ ජෙම් රිච් නම් කඩයෙන් ගත් අළුත් මාබල්  තිබූ අතර ඩිල්ශාන් තම දිලිසෙන මාබල් සඟවාගෙන කඩතොළු වූ ටීක්බෝල වලින් සෙල්ලම් කරයි. අප මේ කඩතොළු වූ ටීක්බෝල කබ්බෝ ලෙස නම් කලෙමු. පරදින විට කබ්බෝ දීම නිසා අප ඩිල්ශාන් සමග රණ්ඩු කලෙමු. එහෙත් සවස් වන විට සතුරන් මිතුරන් වෙති.

එසේම අප ක්‍රිකට් ගැසුවෙමු. ක්‍රිකට් ගසා අසල්වැසි නිවාස වල ජනේල බිඳ සාමූහිකව බැනුම් ඇසුවෙමු. වරක් අන්වර් ගැසූ හයේ පහරක් ජනේලයක් කඩා ගෙන ගිය අතර අපි බැට් බෝල දමා දිවුවෙමු. අන්වර් ටී.බී ජයා ගේ මුණපුරෙකි. 

අපි  සෙල්ලම් තුවක්කු අතට ගෙන හොරා පොලිස් හෝ කව් බෝයිස් සෙල්ලම කලෙමු. ඩිල්ශාන් ගේ පියා සතුව පැරණි වායු රයිෆලයක් තිබූ අතර ඔහු එය සෙල්ලම් කිරීමේදී ගෙන ආවේය​. අවශේෂ කොල්ලෝ ප්ලාස්ටික් හෝ ලී තුවක්කු ගෙන ආහ​. මා සතුව ප්ලාස්ටික් තුවක්කුවක් මෙන්ම ක්ලේ ගුලියක් ද තිබුනේය​. සතුරන් මා අත් අඩංගුවට ගෙන  මගේ තුවක්කුව පැහැරගෙන මාව පැරණි මලකඩ කෑ වතුර ටැංකියකට දමා සිරගත කරති.  එවිට මම සාක්කුවේ තිබෙන ක්ලේ ගුලිය අතට ගෙන තුවක්කුවක් නිර්මාණය කොට  "බෑං" කියා සිරගෙදර ගාඩ්ට වෙඩි තබා ඔහුගේ තුවක්කුවද ගෙන පළා යමි. 

සිරගෙදර ගාඩ්ට බොහෝ විට සිටියේ ලක්මින් ය​. ඔහු රාජකීය විදුහලේ සිසුවෙකු විය​. එතරම් දබරකාරයෙකු නොවූ ලක්මින්ට වෙඩි තබා හෝ ඔහුව වරපොටකින් බැඳ දුවන විට රෙන්සා හෝ ඩිල්ශාන් සොහොයුරෝ මා හඹා විත් මාව යලි අත් අඩංගුවට ගෙන සිරගත කරති. මෙම ක්‍රීඩාව අප රතිඤ්ඥා සහ බිම ගැසූ විට පුපුරණ ඩෑෂිං කැකර්ස් යොදාගෙන කලෙමු. ඩිල්ශාන් තම වායු රයිෆලයේ බටයට රතිඤ්ඥාවක් පත්තු කොට දමා අප වෙත තුවක්කුව එල්ල කොට වෙඩි තබයි. එවිට ශබ්දය සමග තුවක්කුවෙන් දුම් පිටවේ. එම අවස්ථාවේදී  අපි ග්‍රෙනේඩ් හෙවත් ඩෑෂිං කැකර්ස් ඩිල්ශාන් වෙත ගසමු. ඒවා හඞ නගමින් පිපිරී යයි. එවිට ඔහු මැරී වැටේ.  

අවුරුද දහයේ දොලහේ කොල්ලන් කුරුට්ටන් සෙල්ලම් තුවක්කු සහ රතිඤ්ඥා යොදා කළ සෙල්ලම ඉන් දශක එකකට එක හමාරකට පසුව ඇත්ත තුවක්කු යොදා ගනිමින් වැඩිහිටියන් සිදු කලහ​. අප සමග සෙල්ලම් තුවක්කු සමග ක්‍රීඩා කල ඇංගොං කියා කවට නමින් හැඳින්වූ දෙමළ ළමයා ඇතුළු පිරිසක් පසුව ප්‍රභාකරන්ට එකතු වී හමුදාව සමග සටන් කලහ​. සමහරු පිටරට ගොස් ද්‍රවිඩ ඩයස්පෝරාවට බැඳී ප්‍රභාකරන්ට ආයුධ ගැනීමට මුදල් එවූහ​. මේ වියවුල් නිසා රෙන්සා / ඩිල්ශාන් සොහොයුරන් ඕස්ට්‍රේලියාවට ගියහ​. ඕස්ට්‍රේලියාවට විත් ඔවුන් හමු වන ලෙස ඔවුන් නිතරම කියති. 2006 වසරේ මම ඕස්ට්‍රේලියාවට ගිය මුත් මේ දෙසොහොයුරන් හමු වීමට කාල වේලාවක් නොවීය​. 

මා උසස් පෙළ විභාගයට සූදානම් වන සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය අනුරාධපුර සංහාරය කළහ​. මේ සමයේදී ද්‍රවිඩ මිතුරන් අපගෙන් ඈත් වී ගියේ ඉතා කණගාටු දායක ලෙසටය​. මේ සමයේදී මා සමග මිතුරු වූ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුවෙකු සිටියේය​. ඔහු මා සමග අසංග සර් ගේ නුගේගොඩ සත්ව විද්‍යා පන්තියට ආවේය​. ඔහු සිටියේ මාධ්‍යවේදී නාලක ගුණවර්ධනගේ පන්තියේය​.  මම , නාලක , තරිඳු පෙරේරා, සිදත් ප්‍රනාන් දු හෙවත් ඔටුවා සහ මෙම සිසුවා සමග එක පෙළට බංකුවේ වාඩිවී අසංග අබේසුන්දර ගුරුතුමාට සවන් දුන් අයුරු තවමත් සිහිපත් වේ. වර්තමානයේ ඔහු එක්සත් රාජධානියේ ජීවත් වෙයි. 

මේ කාලයේදී මගේ තවත් සුමිතුරෙකු වූ නසීර් යාකුබ්ව  මට සිහිපත් වේ. නසීර් මටම තකට තක ගැලපුනු මිතුරෙකු විය​. අප බොහෝ සෙයින් විහිළු කර ගත්තෙමු. නසීර් ඉගෙනුම ලැබුවේ මහානාම විද්‍යාලයේය​. ඔහු උසස් පෙළට ගණිත විශයන් හැදෑරීය​. අප දෙදෙනා සෑම ඉරිදා දිනයකම සවස නුගේගොඩ රොටරි හෝල් එකේ දෙව්‍ රුවන් අල්විස් සර් ගේ රසායණික විද්‍යා පන්තියේදී හමුවූයෙමු. අප දෙදෙනා වාඩි වූයෙත් එක ලඟය​. කලින් එන තැනැත්තා අනෙකාට තැනක් තමා අසලින්ම වෙන් කරයි. 

වරක් මාගේ පටක විද්‍යාව ඇබෑසි පොත රහසින් ගත් නසීර්  එහි අකුරු එහා මෙහා කොට ලිවීය​. මේ බව නොදත් මම  ඇබෑසි පොත ඉස්කෝලේදී කුලවංශ සර් ඉදිරියේ තබාගෙන පාඩමට සවන් දුන්නෙමි. මාගේ  පටක විද්‍යාව ඇබෑසි පොත් කවරය දැක කුලවංශ සර් ගේ දෙනෙත් ලොකු විය​. ඉන් පසු මට නසීර් කල විහිළුව වැටහුනි. පසුව එලැඹුනු ඉරිදා මම නසීර්ට දෙහි ගෝනියක් කැපුවෙමි. 

උසස් පෙළ කරන සමයේ කෙල්ලන්ට ලව් ලෙටර් දීමට සපෝටර් ලෙස අපි දෙදෙනා එකිනෙකාට උදව් කර ගත්තෙමු. එසේම කෙල්ලන් ෆලෝ කරමින් , පැණි හලමින් බස් වල මහරගම , නාවින්න ආදී ප්‍රදේශ දක්වා අපි දෙදෙනා සමහර විට ගියෙමු. එහෙත් මේ ගමන් බොහෝමයක් අසාර්ථක වූයේය​. එහෙත් අපගේ මිතුදම වැඩුනි. 

අප දෙදෙනා මහජන පුස්තකාලයේ එකට පාඩම් කලෙමු. අපි කෙටි විවේකයකට කැන්ටිමට ගොස් ප්ලේන් ටී එකක් සමග රෝල් එකක් හෝ මාළු පාන් කන්නෙමු. එක් දවසක් මම මෝරා වන අතර අනෙක් දින නසීර් මෝරා වෙයි. මෝරා යනු තේ සහ කෙටි කෑමට මුදල් වියදම් කරන තැනැත්තාය​. ඉඳ හිට අප තඩි මෝරෙක් අල්ලාගෙන ඔහුගෙන් හොඳට කෑවෙමු. 

මහානාම විදුහලේ මුගාබේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ගුරුවරයා විසින් ආගමික සහ වාර්ගිකත්වය මත  නසීර්ට බොහෝ පීඩන ඇති කරන ලදි මේ නිසා ඔහු කොලඹ සහිරා විදුහලට යාමටද ඉටා ගත්තේය​. මේ පීඩන නිසා 1985 උසස් පෙළ විභාගයට  වසරක් තිබියදී නසීර් ශිෂ්‍යත්වයක් ලැබ  පරිගණක විශය හැදෑරීමට සෞදි අරාබියට ගියේය​. ඉන් පසු මාගේ ඉරිදා දිනයන් කාංසා සහිතව ගත විය​. සෞදි අරාබියට ගොස් පරිගණක උපාධියක් හදාරා සිටි නසීර් 1993 වසරේදී මා සොයා මගේ නිවසට ආවේය​. එසේම ඉන් වසර කීපයකට පසුව තිබූ මගේ විවහා මගුලටද නසීර් ආවේය​. මමද ඔහුගේ මගුල් ගෙදර ගියෙමි. වර්තමානයේ නසීර් ලංකාවේ ජීවත් වෙයි. ඔහු මගේ මුස්ලිම් සොහොයුරාය. පුනර්භවයක් කියා දෙයක් සත්‍ය වශයෙන් තිබේ නම්  අතීතයේ එක් ආත්මයක අප දෙදෙනා  එක පවුලේ සහෝදරයන් වී ඉපදී ඇති බව මට සිතේ.  එහෙත් නසීර් පුනර්භවය පිළි ගන්නේ නැත​. 

මාතලේ රෝහලේ ඉන්ටර්න් වරයෙකු ලෙස සේවය කරන සමයේ මට හමුවූ සැකරියා හොඳ මිතුරෙකි. එසේම බෂීර්ද​ විහිළුව ප්‍රිය කල අයෙකු විය​. බෂීර්  ගේ ගම අක්කරේපත්තුව වූ අතර ඔහුගේ පියා ට්‍රැක්ටර පවා සතු ගොවියෙකි. බෂීර්  ඉගෙනුම ලැබුවේ යාපනය වෛද්‍ය පීඨයේය​. එහෙත් ඔහු සිංහලද හොඳින් කතා කලේය​. 

වරක් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා නිවාඩු ගිය ඉරිදාවක  දඹුල්ලෙන් ගැබිනි මාතාවක් ආවේය​. මෙදින මාතලේ රෝහලේ විදුළිය ඇණ හිට තිබූ නිසා මම ඒ ගැබිණි මව මහනුවර රෝහලට මාරු කලේ රෝහලේ විදුළිය නැත කියා සටහන් කරමිනි. මේ කාලයේ මහනුවර රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වූයේ හෙට්ටිආරච්චි නම් මහතෙකි. ඔහු සියළු දෙනාටම බැණ වදින ට්‍රාන්සර් ෆෝම් වල කුණුහබ්බ ලියන අමුතු අන්දමේ පුද්ගලයෙකි. මා විසින් මහනුවරට මාරු කල ගැබිනිය ඔහු යළිත් වරක් මාතලේ රෝහලට එවා තිබුනේ මෙලෙස  ට්‍රාන්සර් කොලයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාය : උඹලාගේ රෝහලේ විදුළිය නැත්නම් ඩී.එම්.ඕ ට කියා ජෙනරේටරයක් ගනිල්ලා. වෙද්‍ය හෙට්ටිආරච්චි විසින් ලියන ලද මේ වචන සෙට් එක දුටු බෂීර් බඩ අල්ලාගෙන සිනාසුනේය​. 

වරක් අපගේ චමරියේ කෑම අප්සෙට් දිනයක මමත් බෂීරුත්  මාතලේ අරුණාලෝක හෝටලයට ගොස් කෑවෙමු. අරුණාලෝක හෝටලයේ   මැනේජර් වූ සුනිල් සහ හිමිකරු වූ  ඥාණසිරි මගෙන් මුදල් ගැනීම ප්‍රතික්ශේප කලෙන් මම ඔවුනට සුහදව දොස් කියමින් හෝටලයෙන් එලියට බැස්සෙමු. හෝටලයෙන් එලියට ගිය විගස බෂීර් මගේ කනට කර " ඔයියාට හොඳ ෆ්‍රෙන්ඩ් එක තමා ඉන්නවා " කීවේය. 

මීගමුව රෝහලේ මම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරද්දී මා යටතේ ඉන්ටර්න්වරයෙකු වූ මොහිදීන් ගුණසිංහ පුර වාසියෙකු විය​. ඒ නිසා ඔහු සිංහල කතා කලේ බජාර් එකේ අයියා කෙනෙකු ලෙසටය​. මම මොහිදීන්ව ප්‍රිය කලෙමි. ඔහුගේ බජාර් එකේ විහිළු ශල්‍යාගාරයේදී අපගේ කාන්සිය මකා දැමුවේය​. එසේම ඔහු සමහර විට බූන්දි , මස්කට් , වටලප්පම් නිවසින්  ගෙනවිත් අපට ඔහුගේ කාමරයට කතා කරයි.  මා ඇතුළු අනෙකුත් වෛද්‍ය  නිලධාරීන් මොහිදීන් ගේ කාමරයට ගොස් මේ රස කැවිළි වලට වග කියන්නෙමු. 

මොහිදීන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ චීනයේ ය​. එම නිසා ඔහු චීන (මැන්ඩරීන්) භාෂාව මෙන්ම දෙමල , සිංහල , ඉංග්‍රීසි භාෂා කතා කලේය​.  භාෂා හතරක් කතා කල මොහිදීන් ගේ හැකියාවන් අපගේ සෞඛ්‍ය අංශය එතරම් සැලකිල්ලට ගත්තේ නැත​. උතුරු ඇමරිකාවට ආවේ නම් මැන්ඩරීන් බස දන්නා මොහිදීන්ට ඉතා පහසුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් සොයා ගත හැකිය​. 

හලාවත රෝහලේ අප සමග සිටි රිස්විද ජොලි වෛද්‍යවරයෙකු විය​. ඔහු ශල්‍ය  විශේෂඥ වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීයෙකු විය​. මම එවකට නිර්වින්දන වෛද්‍යවරයෙකි. රිස්වි සමග මාගල් වැනි තියටර් ලිස්ට් මම නිම කලේ කිසිදු වෙහෙසක් නොමැතිව රිස්වි ගේ  කතා වලට සවන් දෙමිනි. සමහර දින වල අප දහවල්  එකට පටන් ගත් ශල්‍යකර්ම රාත්‍රී හත අට දක්වා කරන්නෙමු. ලෙඩුන් විසි තිස් ගනන් සිටින පෝලිම් අප නිම කරන්නෙමු. ඉන් පසු වෛද්‍ය නිලධාරී නිල නිවාසයට ගොස් රාත්‍රී ආහාර ගෙන යාපාගේ කාමරයට ගොස් ඩෙල්ටා ෆෝස් පරිගණක ක්‍රීඩාව කිරීම අපගේ සතියේ දවස් වල දින චර්‍යාව විය​. රිස්වි ගේ විවහා මගුල් උත්සවයට අප ගියෙමු. පසුව ඔහු ජයවර්ධන පුර වෛද්‍ය පීඨයට බැඳුනේය​.  

යුද හමුදා රෝහලේදී මට හමුවූ නිෆ්ලර් එවකට කපිතාන්වරයෙකි. වරක් මම  ඔහු සමග රත්මලාන  ගුවන් තොටුපලේ සිට   පලාලි දක්වා පැරණි ඇන්ටනෝව් යානාවකින් පියාසර කලෙමි. එසේම ඔහු සමග සුභාෂ් හෝටලේ නැවතී සිටියෙමි. නිෆ්ලර් මා කැටුව යාපනයේ රෝහල පෙන්වීමට ගියේය​. නිෆ්ලර් හොඳ වෛද්‍යවරයෙකි. ආදරණීය ශ්‍රී ලාංකිකයෙකි. එසේම හිත හොඳ මිතුරෙකි. වර්තමානයේ ඔහු යුද හමුදාවේ සාම  සාධක මෙහෙවරක් ඉටු කරමින් උගන්ඩාවේ සිටියි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය  සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කල සමයේදී වෛද්‍ය ගවුස් කල්පිටිය එම් ඕ එච් හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විය​. මම විහිළුවට ඔහුට ග්ලවුස් කියා ඇමතූවද ඔහු අමනාප නොවීය​. වෛද්‍ය ගවුස් මාගේ මානසික සෞඛ්‍ය  වැඩ සටහන් වලට උපරිම සහයක් දුන්නේය​. අතලොස්සක් වූ සමහර සිංහල වෛද්‍යවරු / වෛද්‍යවරියන් කුහක කමට මානසික සෞඛ්‍යය වැඩ සටහන්  කඩාකප්පල් කොට තුච්ච තුෂ්ටියක් ලැබුවද ගවුස් එම කුහකයන් ගේ වැඩද ඔහුගේ කරට ගනිමින් දිස්ත්‍රික්කය තුල මානසික සෞඛ්‍යය වර්ධනයට මහත් සේවයක් කලේය​. බහුතරය සිංහලයන් ජීවත් වූ හලාවත වැනි ප්‍රදේශයක මානසික සෞඛ්‍ය වැඩ සටහන් සිංහල ජාතික එම් ඕ එච් වරිය කිසිදු මෙත්තාවකින් තොරව ඒවා  අතපසු කරන විට මුස්ලිම් එම් ඕ එච් කෙනෙකු ඒවා භාරගෙන කල බව කිව යුතුය​. වැඩ කිරීමේදී ගවුස්ට සිංහල මුස්ලිම් භේද නොවීය​.  මෙය සියල්ලම වාර්ගික කෝණයකින් බලන වර්ගවාදයේ ආගම්වාදයේ විශ හිසට ගැසූ නොමිනිසුන්ට පෙන්විය හැකි අනගි උදාහරණයකි.  

සිංහල සහ මුස්ලිම් මිත්‍රත්වය ශත වර්ශ ගනනාවක් අතීතයට ඇදී යයි. බොහෝ කාලයක් මේ ජාතීන් එකට ජීවත් වූහ​. එහෙත් සිංහල  සහ මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කරන ලද වාර්ගික අසමගිය නිසා  අතීතයේ සහයෝගයෙන් සමගියෙන් ජීවත් වූ ජාතීන් දෙකක් ඈත් වෙමින් සිටිති. එය ඉතා සංවේග ජනකය​. කෙසේ නමුත් මාගේ මුස්ලිම් මිතුරන් මේ අන්තවාදයට ගොදුරු නොවීම සැනසිලිදායකය​. එදා මෙන් අදත් හෙටත් අප මිතුරන් වන්නෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, February 22, 2017

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක හිටපු නවක වධකයෙක්ද ?



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක හිටපු නවක වධකයෙක් බව මල්ලේ පොල් බ්ලොගය ලියන  කුමාර කළුආරච්චි පවසයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ කුමාර කළුආරච්චි මහාචාර්‍ය උපුල් දිසානායක මීට වසර 18 කට ඉහතදී නවක සිසු සිසුවියන්ව නවක වදයට ලක් කල අයුරු මෙසේ පෙන්වා දෙයි. 

" උපකුලපති තුමනි... මා ඔබව මීට වසර දහ අටකට පමන අතීතයට ගෙන යන්නට කැමැත්තෙමි.

ඔබගේ දෙවන වසරේ දී හිල්ඩා ඔබේසේකර ශාලාවේ නවක වධය දෙමින් සිට එහි ශාලාධිපති ශල්‍ය වෛද්ය  මහාචාර්ය කොල්ලුරේ  ගේ අතටම අසුව ඉන් මිදී  දන්ත වෛද්ය සිසුවෙකු ගේ කාමරය මැදින් පලා ගියා මතකද? එම සිද්දිය නිසා තම නැවත විබාගයට (repeat exam) පාඩම් කරමින් සිටිත්දී කාමරය මැදින් පලාගිය ඔබේ නම බලධරයන් ට දන්වා පාවාදීම නොකල නිසා කැකිරාවේ සිට පැමිනි එම දන්ත වෛද්ය සිසුවාවන ගුන්ඩා හෙවත් ගුණවර්දන ට මාස තුනක පන්ති තහනමක් ලැබුනා මතකද? එම පන්ති තහනම මැද දී ගුන්ඩා ගේ නැවත විභාගය පැවැත් වුනු නිසාම ගුන්ඩා බැච් මිස් වී පහල කණ්ඩායමට බැඳෙන්න වුනා මතකද?

ඔබත් පලමු වසර කන්ඩායමෙන් විසි වී පහල කන්ඩායමට බැඳුනා මතකද? පේරාදෙනි ඉතිහාසයේ පහල කන්ඩායමෙන් සමත් වී උපකුලපති වූ එකම පුද්ගලයා ඔබ බව මතකද?

ඔබට විරුද්දව සරසවි බලධරයන් විසින් විනය පරීක්ශන පැවැත්වූවාද නැද්ද? (  ඔවු.. අර කාර් එක ගිනිතියාපු කේස් එක තමයි... )

අප නවකයන් ලෙස පේරාදෙනි විශ්වවිද්යාලයට ඇතුල් වෙද්දී අවසන් වසරේ සිටි ඔබ, ඊට පෙර වසරවල අසමත් විශයන් පාඩම් කරද්දී මහ රෑ එකට පමන එවකට අරුනාචලම් ශාලාවේ නවාතැන්ගෙන සිටි නවක අපව නින්දෙන් අවදි කරවා බලෙන් ම නිරුවත් කර නාන කාමරයට රැගෙන ගොස්, ඔබ ඇඟ සෝදාගන්නා තුරු ඔබ අසල සිට වෙවුලන්නට අණ දුන්නා මතකද?

සරසවි වල ශිෂ්‍යයන් මාරාන්තික නවක වධය දෙන්නේ ඔබලාගෙන් ඉගෙනගෙන බව දැන් පැහැදිලි ද?

වර්තමාන වධකයන් හට දඬුවම් කිරීමට පෙර තමන් ශිෂ්‍යයෙකු ව සිටි කාලේ වධකයෙකු ලෙස ක්‍රියා කලා යැයි ප්‍රසිද්දියේ පිලිගෙන සමාව ඉල්ලීම නරකද?

( උපුටා ගැනීම ; http://mallepol.blogspot.ca/2017/02/blog-post_21.html )

නවක වදය නැවැත්වීමට අවශ්‍ය සදාචාරාත්මක නායකත්වය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බලධාරින්ට නොමැති බව මාධ්‍යවේදී  සුගත් රාජපක්‍ෂ පෙන්වා දෙයි. ඔහු මෙසේ ලියයි 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය.
(ඩී. සුගත් රාජපක්ෂ)


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක මේ ඔබගේ දැනගැනීම සඳහාය 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, February 21, 2017

71 කැරැල්ලේ මහින්ද විජේසේකර භූමිකාව

 


71 මහ නඩුවේ 25 වන විත්තිකරු වූ මහින්ද විජේසේකර   කැරැල්ලේදී ප්‍රබල භූමිකාවක් ඉටුකළේය. විජේවීරට විශ්වවිද්‍යාලවල සබඳතා ඇතිකර ගැනීම සඳහා මහින්ද විජේසේකර ගෙන්  ලැබුණු සහය අතිමහත්ය. කැරැල්ල නිසා ඔහුගේ නිවස ගිනිබත් කෙරුණු අතර සහෝදරයෙක්ද මරා දමන ලදී. කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර  මහතා හමුවීමට මට අවකාශ සලසා දුන්නේ ඔහුගේ වැඩිමහල් සොයුරා සිරි විජේසේකර  මහතා විසිනි. බොරැල්ලේ කොටා පාරේ මහින්ද විජේසේකර අමාත්‍යවරයාගේ නිවසේදි මට ඔහුව හුමුවූ අතර හදිසි කරුණක් උදෙසා අම්පාරට යෑමට තිබුණද, ඔහු මා වෙනුවෙන් කාලය මිඩංගු කළේය. මේ මහින්ද විජේසේකර  මහතා මට පැවසූ වදන්ය.
 
මම විශ්වවිද්‍යාලයට යාමටත් පෙර පටන් දෙවුන්දර ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නියැලිලා හිටියා. ගමේ පොදු වැඩ වලදි මගේ සහාය නිබඳවම ලබාදුන්නා. මම ඒ කාලයේ සම්බන්ධ වෙලා හිටියේ කොමිටුනිස්ට් පක්ෂය සමඟයි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවෙගම, වැනි වාමාංශික දේශපාලන නායකයන්ගේ ඇසුර මට ලැබුණා. අපේ ගම් ප්‍රදේශයන්වල තිබූ පසුගාමී බව, ඌණ සංවර්ධනය, ඇති නැති පරතරය, කුලභේදය, වැඩවසම් ක්‍රමය පිළිබඳව මා තුළ තිබුණේ විවේචනාත්මක ආකල්ප. මේ සාවද්‍ය සමාජ ක්‍රම වෙනස් කිරීමට මට අවශ්‍යතාව තිබුණා. 

මම ගියේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට. මම විශ්ව විද්‍යාලයේදී හැදෑරුවෙ කලා විෂයයන්. විශ්විවද්‍යාලයේදී මම ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කළා. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපති ලෙස මාව තේරී පත් උනා. විජේවීර මා සමඟ දේශපාලනය ගැන කථා කළා. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තුළින් පන්ති ක්‍රමය වෙනස් කරන්න බෑ. සන්නද්ධ අරගලයක් අවශ්‍ය බව ඔහු කියා හිටියා. නිර්ධන පන්තියේ ආඥාදායක්වය කියන එක කථා කළා. ප්‍රතිවිප්ලවය තත්වයන් ගැන කතා කළා.

විජේවීරට සමාජ තත්වයක්. පිළිගැනීමක් ගම්පළාත්වල තිබුණේ නැහැ. ග්‍රාමීය දේශපාලනයට පවා ඔහු අමුත්තෙක්. ඒ කාලයේ විජේවීරට හිටියේ සුළු අනුගාමිකයන් පිරිසක්. ඉඩම් සංවර්ධනයේ කුඩා කම්කරු පිරිසක් තමයි විජේවීර වටේ හිටියේ. මා හරහා විජේවීරට විශ්වවිද්‍යාල සිසුන්ට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ලැබුණා.

මමයි ධර්මසේකරයි විජේවීරගේ ව්‍යාපාරයට බැඳුනේ එකට. ඒත් අපි අන්ධ අනුගාමිකයන් උනේ නැහැ. විජේවීරගෙ ඇතැම් ක්‍රියා පිළිබඳව අපි විවේචනශීලි වුනා. 1970 ජුලි 14 වෙනිදා මම විෙජ්වීරව විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ලෙනින් ශාලාවට ගෙන්නුවා දේශනයකට. මේකට සිසුන් 5000ක් විතර සහභාගී කෙරෙව්වා.  අපි සී.අයි.ඒ. කාරයෝ නෙවෙයි  කියලා තමයි දේශනයේ මාතෘකාව. 

විජේවීර සන්නද්ධ විම ගැන කොතෙකුත් කථා කළත්, මම ආයුධ අතට ගැනීම ගැන එතරම් මනාපයක් දැක්වුයේ නැහැ. පන්ති බලවේග මෙතන නැහැ. අත්දැකීමෙන් අඩු සිසුන් පිරිසක් විතරයි, අපට ඉන්නේ කියලා මම පෙන්නලා දුන්නා. ආයුධ තීරණාත්මක සාධකය නෙවෙයි. විප්ලවයට කාලය මදි. තවම කළලය මෝරලා නැහැ. විජේවීර දිගින් දිගටම කිව්වේ ප්‍රතිවිප්ලවය ඉන්දුනීසියාවේ වගේ ඝාතන රැල්ලක් එයි කියන එක.

මට හිතෙනවා විජේවීරට ෆෝබියාවක් එහෙමත් නැත්නම්, පැරනොයිඩ අදහස් සමූහයක් තිබ්බා කියලා. සී.අයි.ඒ. එක රට අල්ලගනී. ප්‍රතිවිප්ලවය සක්‍රිය වෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය අපිව ගිලගනියි. අධිරාජ්‍යවාදීන් අපිව ආක්‍රමණය කරයි. වගේ ලූමුම්බා එකෙත් ඉන්න කාලේත් විජේවීර කොස්ස අරගන ට.ර්.ර්.ර්.. ගාලා මැෂින් තුවක්කුවක් වගේ වෙඩි තියනවලූ.

පෞද්ගලිකව ගත්තම විජේවීර බියසුළු චරිතයක්. වගකී්ම් ගැනීම, වගකීම් දරාසිටීම, අත් අඩංගුවට පත්වූවිට සගයන් පාවා නොදීම, වැනි දේවල් කරන්න ආත්ම ශක්තියක් විජේවීරට තිබ්වේ නැහැ. ඒ බියසුළු චරිත ස්වභාවය තමයි 88/89 කාලේ විෙජ්වීරව කෘෘර චරිතයක් බවට පත්කළේ. 

විජේවීර පැරණි සම සමාජ නායකයන්ට වෛර කළා. නිතරම කිව්වේ පටන්ගන්නේ තොපෙනි කියලා. විජේවීර කණ්නාඩි දැම්මෙත් පෞරෂයක් ඇති කර ගන්න කියලා මට හිතෙනවා. ඔහුට තදබල අක්ෂි දෝෂයක් තිබුණේ නැහැ. අපි බන්ධනාගාරයේ ඉන්න කොට ඈත අහසේ බැලූමක් යනවා ඔස්මන්ඩ් දැකලා අපිට පෙන්නුවා. මට. හරි හැටි ඒ බැලූම පෙනුනේ නැහැ. මම කෝ කෝ කියල බලනකොට විජේවීර මට ඇඟිල්ලෙන් පෙන්නුවා අර තියෙන්නේ කියලා. ඒක රිදී තිතක් වගේ. දුර්වල දෑස් තියෙන කෙනෙකුට නොපෙනෙන තරම්. ඒත් විෙජ්වීර ඒක දැක්කා.

විජේවීරගේ ජාතිවාදී ප්‍රවනතාවන් මම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මම අන්ධ බැතිමතෙක් නොවන බව විජේවීරට තේරුම්  යන්න ඇති. මාව විජේවීර හැඳින්වූයේ සුළු ධනේශ්වර සංශෝධනවාදියෙක් කියලා. ප්‍රතිවිප්ලවවාදී ලැයිස්තුවටත් මාව දාලා තිබුණු බවත්, විප්ලවයෙන් පසු රතු ගැටවු හරහා මාව ඝාතනය කරන්නත්, ඒකේ වගකීම ප්‍රතිවිප්ලවවාදි බලවේග වලට පටවන්නත්, සැලසුමක් තිබුණු බවටත් මට පසු කාලයක දැන ගන්න ලැබුණා.

1971 මාර්තු 19 දින මමයි උයන්ගොඩයි. රක්වානේ පන්ති වගයක් පැවැත්තුවා. කොපමණ මතභේද තිබුණත් අපි ව්‍යාපාරයට සහයෝගය දුන්නා. මේ වෙන කොට ධර්මසේකරත් කැඩිල ගිහිල්ලා. ධර්මසේකර කැඩීයන්නට පෙර මට ව්‍යාපාරයෙන් අයින්වෙන්න කියා අවවාදයකුත් දීලා තිබුණේ. ඒත් මම ව්‍යාපාරය වෙනුවෙන් බැඳිලා හිටියා. මේ පන්තියට පොලිසියෙන් පැන්නා. උයන්ගොඩ පැනලා දුවලා. මම දිව්වේ නැහැ. මම පොලිසියට කිව්වේ මම නීති විරෝධි වැඩක් කළේ නැහැ. දේශපාලන කටයුතු ගැන පිරිසක් සමග කථා කලා පමණයි කියලා. පොලිසිය මාව අත් අඩංගුවට ගත්තා.

හදිසි නීතිය යටතේ මාව අවුරුදු 4 රඳවලා තිබ්බා. අපිව බන්ධනාගාරයේදී රඳවලා තියෙන කොට අපි පොත පත කියෙව්වා. අපට බුද්ධිය වඩ වඩා ලැඛෙන කොට මේ ව්‍යාපාරය ගැන දැනුවත් භාවයක්. එහි අඩුපාඩුත්. අපට වැටහුණා. ඒ එක්කම මම දැක්කා විජේවීර කෙරෙහි දැක්වු ගරුත්වය අනුගාමිකයන් තුළින් අඩුවෙලා යනවා. සමහර භක්තිවන්ත අනුගාමිකයෝ පවා විජේවීරට  ඕයි   අයිසේ  කියලා කථා කරන මට්ටමට ගියා. විජේවීරගේ හිටපු භක්තිවන්ත බොඩිගාඩ් ලක්ෂ්මන් මාදුවගේ  තමුසේ අපිව අනාථ කරා බොරු කියමින්  කියලා සෙරෙප්පුව අතට ගත්තා ගහන්න.

මේ හේතුව නිසා විජේවීර අනුකම්පාව අයදින තත්වයට වැටුනා. මට මතකයි අපි එච් වාට්ටුවේ ඉන්න කොට වොලිබෝල් ගහනවා. මමයි, එස්.ඩී. බණ්ඩාරනායකයි තමයි දෙපස නියෝජනය කළේ. විජේවීර අපි වොලිබෝල් ගහනවා බලාහිටියා. අපි විජේවීරත් වොලිබෝල් ගහන්න එන්න කිව්වා. අදි මදි කරමින් විජේවීරත් වොලිබෝල් ගහන්න ආවා. විජේවීරට ක්‍රීඩා කෞශල්‍යයක් තිබුණේ නැහැ. බෝලය අතේ වැදිලා මහපට ඇඟිල්ල උලූක්කු උනා කියා කෑ ගැසුවා. මේ ඇඟිල්ල මාසයක විතර බැඳගෙන එල්ලගෙන හිටියා. නඩුවටත් ගියේ අත එල්ලාගෙන. මේක අනුකම්පාව ගන්න ප්‍රදර්ශනයට කරපු දෙයක් හැටියටයි මම දකින්නේ.

මගේ නඩුවට මම තනියම කථා කළා. මට විරුද්ධව චෝදනා නැති නිසා මාව නිදහස් කළා. කැරැල්ල නිසා අපේ දෙවුන්දර මහ ගෙදර ගිනි තියලා තිබුණා. ඒ වගේම මගේ බාල සහෝදරයා ගිල්බට් විෙජ්සේකර මිය ගියා. ගිල්බට් මාව මාතර කොටුවේ රඳවාගෙන ඉන්නවා කියලා හිතලා 1971 අප්‍රේල් 5 දා මාතර කොටුවට පිරිසක් එක්ක ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. එහිදි ගිල්බට් තුවාල උනා. ඔහුව මාතර පොලිසියට ගෙනියලා අප්‍රේල් 8 දින තවත් 5 දෙනෙක් එක්ක, වලවල් ඔවුන්ගේ අත්වලින්ම හාරවලා වෙඩි තියලා මරලාදාලා තියෙනවා. ඇටකටුවක්වත් මම දැක්කේ නැහැ.

71 කැරැල්ල මම දකින්නේ විජේවීරගේ පෞද්ගලික උවමනාව නිසා කරපු අසංවිධානාත්මක ප්‍රහාරයක් හැටියට. ඒක සාර්ථක උනානම් පොල්පොට්ගේ කම්පුචියාව වගේ ලංකාව ලේ විලක් වෙයි. අපිවත් ජීවතුන් අතර තියන එකක් නැහැ. කැරැල්ලෙන් අවුරුදු 37 කට පස්සේ මම ඉන්නේ, ආයුධ අතට අරගන අරගලවලට ලංකාවේ සමාජ ආර්ථීක වටපිටාව. බැටිස්ටාගේ කියුබාව, සාර් යුගයේ රුසියාව වගේ පිරිහිලා නෑ
කියන මතයේ.

නමුත් ආත්ම ආරක්ෂාව සඳහා ආයුධ අතට ගැනීම මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක දණ්ඩනීති සංග්‍රහයේ 81 වගන්තිය යටතේ පුද්ගල ආත්ම ආරක්ෂාව සහතික කරලා දීපු අයිතිවාසිකමක්.


(වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )

Monday, February 20, 2017

නූගත් භික්‍ෂූන් ගෙන් බණ අසන සිංහල බෞද්ධයා

 


මීට දශක කීපයකට පෙර සිංහල බෞද්ධයා බණ ඇසුවේ හේන්පිටගෙදර ඥානසීහ , නාරාවිල ධම්මරතන , පොල්වත්තේ බුද්ධදත්ත ,බඹරැන්දේ සිරි සීවලී ,රේරුකානේ චන්දවිමල, වල්පොළ රාහුල වැනි බහුශ්‍රත භික්‍ෂූන් ගෙනි. ධර්ම ඥාණය මෙන්ම බොහෝ ඇසූ පිරූ දැණුම තිබූ මේ යතිවරු  ධර්මය අසන්නා තුල බුද්ධි කළම්බනයක් ඇති කිරීමට සමත් වූහ​. එහෙත් අහේතුවකට මෙන් මේ ශික්‍ෂිත කාලපරිච්ඡේදය අවසන් වූ වහාම ධර්ම විනයක් නොමැති නූගත් භික්‍ෂූන් ගෙන් ලංකාවේ සඟ සසුන පිරී ගියේය​. 

සමාජ ආර්ථික ගැටළු නිසා මහණවූ  මෙකී නූගත් භික්‍ෂූන්ට බුද්ධි වර්ධනයක් හෝ සීල වර්ධනයක් අවශ්‍ය නොවීය​. ඔවුන් ගේ මූලික අභිප්‍රායන් වූයේ ගිහි ජීවිතයේදී සිහිනෙන්වත් පැතීමට නොහැකිවූ සුඛ විහරණයන් වැළඳීමටය​. මේ නිසා යන්තම් පන්සිල් ටිකක් දී ජාතක කතාවක් දෙකක් කියා මොකක් හෝ බණක් කීම මේ භික්‍ෂූන් විසින් කරන ලදි. තවත් සමහරෙක් මින් ඉදිරියටද ගොස් ලාභ ජනප්‍රියතාව උදෙසා වෛරී බණද දෙසන්නට වූහ​. සමහරු බුදුපියානන්  අත්හැරදමා දේශපාලකයන්  වන්දනාවේ ගියා පමණක් නොව මහජන මුදල් හොරකම් කල  චෞරයන්ට පිරිත් කීමට බන්ධනාගාර වලටද වැඩම කළහ​. 

බුදු දහම ගැඹුරින් නොදත් භික්‍ෂුව විද්‍යාවෙන් බණ කීමට ගොස් විද්‍යාව අවිද්‍යාව පටලවා ගනී. නැතහොත් බණ මඩුව විනෝද සමයක් කර ගනී. බහුශ්‍රත භාවයක් නොමැති ඇසූ පිරූ දැණුමක් නැති නූගත් භික්‍ෂූන්   සිංහල බෞද්ධයාට දෙසන්නේ අවිචාර බණ වෙති. මේ නිසා පොත පත කියවීමෙන් අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර ඉදිරියේ අවිචාර බණ කියන මේ භික්‍ෂූන් නිරායාසයෙන්ම ප්‍රතික්‍ෂේප වූහ. එහෙත් එතරම් දැන උගත්කමක් නොමැති ග්‍රාමීය වැඩිහිටියන් මේ අවිචාර බණ වල ගොදුරු වෙති. උදාහරණයක් ලෙස ආහාර හා පෝෂණය  ගැන හරි හැටි දැණුමක් නොමැති වූවද මෙකී භික්‍ෂූන් වැඩිහිටියන්ට  ආහාර පිළිබඳවද​ උපදෙස් දෙති. එසේම වෛද්‍ය උපදෙස් ඇවසි තැන් වලට ආගමික උපදෙස් දෙති. මේ සාවද්‍ය උපදෙස් නිසා බොහෝ වැඩිහිටියන් පෝෂණ ඌණතා වලට මෙන්ම වෙනත් රෝගාබාධ වල​ට ගොදුරු වෙති  

සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන බොහෝ ලාමක භික්‍ෂූන් සමාජ ආර්ථික ගැටළු වලදී තම විශේෂඥ මතයන් පළ කිරීමට ගොස් සමාජය ඉදිරියේ හෑල්ලු වෙති.  සමහර විට මෙකී භික්‍ෂූන් ප්‍රසිද්ධියේ ජන මාධ්‍ය වලින් පවසන අවිචාර අතාර්කික කතා  අසන විට මොවුන් බුදු දහම පමණක් නොව මූලික මානව සාරාර්ථයන් පවා නොදන්නා බව පෙනී යයි. මේ නිසා බුද්ධියට ප්‍රමුඛතාව දුන් දර්ශනයක් වන බුදු දහමටද මේ භික්‍ෂූන් අවමන් කරති. 

මා දන්නා පරිදි බුදු දහම ගැඹුරින් හැදෑරීමට සිතැති විදෙස්ගත  ලාංකිකයන් බණ අසන්නේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් ගෙන් නොව යුරෝපීය හෝ උතුරු ඇමරිකානු සුදු භික්‍ෂූන් ගෙනි. ඊට එක් හේතුවක් නම් මේ සුදු භික්‍ෂූන් බුදු දහම විශ්ලේෂණාත්මකව හදාරා  තර්කාණුකූලව බණ දෙසීමයි. එසේම ඔවුන් අන්තවාදය තම ධර්ම දේශනා වලට මිශ්‍ර නොකර ගනිති. 

අතීතයේ නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට විදේශිකයෝ ලංකාවට පැමිනියහ​. එහෙත් තව නොබෝ කලකින් නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට සිංහල බෞද්ධයාට විදේශ ගත් වීමට සිදු වනු ඇත​. 
 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook