Friday, June 12, 2015

යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්‍රැකියුලා මිය යයි




ක්‍රිස්ටෝෆර් ලී අපට මුණ  ගැසෙන්නේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවෙනි. 70 ගනන් වලදී එම්පයර් එකේ, පැරණි මැජෙස්ටික් එකේ , රීගල් එකේ අප බියෙන් ගැහෙමින් ක්‍රිස්ටෝෆර් ලී ගේ චිත්‍රපට නැරඹුවෙමු.  අප දැන් DVD You Tube  යුගයට පැමිණ සිටියත් ක්‍රිස්ටෝෆර් ලී  හ​ට අපව බිය ගැන් වීමට හැකි විය​. 

ක්‍රිස්ටෝෆර් ලී ,බෙලා ලුගෝසි , ෆ්‍රෑන්ක් ලැංගිලා වැනි අති ප්‍රකට ඩ්‍රැකියුලා නළුවන්ටත් වඩා ප්‍රතිභාවක්  පෙන්විය​. ඩ්‍රැකියුලා  චරිතය පමණක් නොව මෑන් විත් ද ගෝල්ඩන් ගන් හි ෆ්‍රැන්සිස්කෝ ස්කැරමැංග ලෝඩ් ඔෆ් ද රිඞ්ස් හි   සරුමාන් වැනි චරිත මගින් ද ඔහු අමරණීය විය​. 

ක්‍රිස්ටෝෆර් ලී ගේ  Dracula (1958 )  චිත්‍රපටය රූපාවාහිනිය ලංකාවට පැමිණි කාලයේ එනම් 1979 ජාතික රූපාවාහිනිය මගින් පෙන්වීය​. කළු සුදු රූපාවාහිනී බහුලව තිබූ  තාක්‍ෂණයද නොදියුණු   ඒ කාලයේ අප ඩ්‍රැකියුලා වෙනුවට දුටුවේ අඳුරු සෙවනැලිය​. 

Dracula: Prince of Darkness චිත්‍රපටය දැකීමට පෙර 1975 පමණ කාලයේ එම චිත්‍රපටය ඇසුරෙන් ලියන ලද සිංහල චිත්‍ර කතාවක් කියවූවා මතකය.  ක්‍රිස්ටෝෆර් ලී රඟපෑ Scars of Dracula බැලීමට පෙර ඒ අනුසාරයෙන් ඩීමන් ආනන්ද ලියන ලද ඩ්‍රැකියුලා සිටුවරයා පොත පාසලේදී ගුරුවරුන්ට හොරෙන් කියවූයෙමි. 

Dracula Has Risen from the Grave චිත්‍රපටය 1987 දී   ලන්ඩනයේ අඳුරු රාත්‍රියක ඥාතියෙකුගේ නිවසේ සිට රූපාවාහිනියෙන් තනිවම  නැරඹුවෙමි. චිත්‍රපටය අවසානයේදී මා නින්දට ගියේ ධම්මපදය පොත කොට්ටය යට තබාගෙනය​.  

Dracula A.D.1972 නරඹන ලද්දේ විඩියෝ කැසට් ලංකාවට පැමිණි මුල් කාලයේදීය​. එසේම  In Search of Dracula වාර්තාමය චිත්‍රපටය (මෙහි හඞ ක්‍රිස්ටෝෆර් ලී ගේය​) ද මෙහිදී මතකයට නැගේ. Taste the Blood of Draculaචිත්‍රපටය ගැන වෛද්‍ය කීත් චැප්මන් නිතර කතා කලේය​. ඔහු කාලයක් හලාවත රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා විය​. වෛද්‍ය කීත් චැප්මන් ගේ විස්තර කතාවෙන් පසු මම එම චිත්‍රපටයද නැරඹුවෙමි .තවද The Satanic Rites of Dracula You Tube මගින්  නැරඹුවෙමි  

මෙලෙස ක්‍රිස්ටෝෆර් ලී ගේ සියළුම ඩ්‍රැකියුලා චිත්‍රපට නැරඹීම පිළිබඳ අතුරු කතා තිබේ. නමුත් මේ සියළු චිත්‍රපට වලට පොදු සාධකය වූ "බිය " නොඅඩුව අපට ලැබුණි. පසු කාලයක Friday the 13th , A Nightmare on Elm Street, Child's Play ( Chucky), Halloween (Michael Myers) වැනි චිත්‍රපට බලන කිසිදු බියක් නොදැනුනත් ක්‍රිස්ටෝෆර් ලී දකින වාරයක් පාසා ගත සීතල වූ බව කිව යුතුය​.  

අන්ධකාරයේ කුමාරයානෙනි ඔබට සුභ රාත්‍රියක් 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

6 comments:

  1. It was a legend in SL too at a time. (Was it in 1979? It should have been broadcasted on just established ITN in 1979 since the Jathika Rupavahini was established in early 80s.)

    ReplyDelete
  2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17316-2015-06-12-22-53-24

    ReplyDelete
  3. ඩ‍්‍රැකියුලා නවකතාව මා මුලින්ම කියවූයේ 1960 දශකයේදීය. එය පරිවර්තනය කොට තිබුණේ හාස්‍යොත්පාදක කථා රචනයෙහි ප්‍රවීණයකු වූ චන්ද්‍ර අනගිරත්න මහතාය. 1960 දශකයේ මැද භාගයේදී, ඩ‍්‍රැකියුලා චිත්‍රපටිය ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරුණ අතර, ඒ සඳහා පුවත්පත් මගින් (එකල තිබුණු ප්‍රබලම ජනමාධ්‍යය) විශාල ප්‍රචාරයක් ලැබුණු බව මතකය.

    සිනමා ශාලාවේ තනිව සිට, මේ චිත්‍රපටිය බලන කෙනෙකුට, රු 1000 ක ත්‍යාගයක් (ඒ කාලේ එම මුදලෙන් ඉඩම් අක්කරයක් ගන්න පුලුවන්) දෙන බවට ප්‍රචාරයක් තිබුනත්, ඒ අභියෝගය භාරගත් කෙනෙකු ගැන මතකයක් නැත. කෙසේ වෙතත් කෑගල්ලේ සිනමාහලක මේ චිත්‍රපටිය බලා, රාත්‍රියේ තනියම ගෙදර යන්නට ගොස්, හදවත නවතින තරම් බියවූ බව මතකය. මෙවැනි චිත්‍රපටියක්, සිනමාහලක මිස රූපවාහිනියේ නැරඹීමෙන්, නියම රසාස්වාදය ලැබේයැයි කීමට අපහසුය.

    ක්‍රිස්ටෝපර් ලී, මේ චරිතය හැර, රඟපාන ලද වෙනත් චරිත මගින්ද, හොඳ චරිතාංග නළුවකු බව ප්‍රදර්ශනය කළේය.

    ඔහුට මෝක්ෂ සුවය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර අනගිරත්න මහතාගේ ඩ‍්‍රැකියුලා නවකතාවමට මතකයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook