Thursday, April 23, 2015

ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා


ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය. 

" මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටම​කියලා සනීප කර ගන්නවාවිෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "

රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය​. ඔහු මලානික හඬින් කථා කළේය. 

"අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලාකලවේ විසප්පුවක් ආවාඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ  වෙද​රාළ ලඟට ගියේඋන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා..."

මෝඩ හරක් ..." වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය

අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන්  සිය​ළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි. 

වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්‍රතිරාව​ කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා.  වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜ 

"අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට  ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි."

රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකිඔහු අසීරුවෙන් හිස සවීය

"අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?

"ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය යග්‍රාහී ලෙස කීවේයතමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි."

රෝගියාට තමාගේ ලෝකය කඩා වැටුණු බව හැගුණි‚ කකුලක් නැතිව මේසන් වැඩ කරන්නේ කොහොමද? බිරිඳට හා ළමයින්ට කන්න අඳින්න දෙන්නේ කොහොමද? පලංචි වැඩවලට සිරිල් බාස් ගන්නේ හොඳට අතපය හයිය ඇති මිනිසුන්ය.  කකුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද? මහමඟ සිඟා කෑමට සිදුවීම අනිවාර්යයයි. රෝගියා ශල්‍ය වෛද්‍යවරයා දෙස බැවේ පිහිට අයදින බැල්මකිනි. 

"අනේ මහත්තයෝ..., කකුල කපන්න එපා. මම දුප්පත් මිනිහෙක්, කකුළක් නැතිව මට මගේ රස්සාව කරගන්න බැහැ.˜ ඔහුට තව දුරටත් කථා කරගැනීමට නොහැකි විය. උගුරේ පටලයක්  බැඳුනා සේ රෝගියාට දැනි‚. ඔහුගේ දෙනෙතින්  කඳුළු කැට කඩා වැටුණි‚

 මෙවර ශල්‍ය වෛද්‍යවරයාගේ සිතට දැණුනේ කෝපයකි. —අයිසේ˜ ඔහු රෝගියා දෙස එක එල්ලේ බැලීය. රොස් පරොස් වූ විට ඔහු රෝගීන් හෝ කාර්ය මණ්ඩලය අමතන්නේ අයිසේ යනුවෙනි. වෛද්‍ය වල්ගම්පායට තරහා ගියබව දැනගත් කණිෂ්ඨ වෛද්‍යවරු හා හෙදියෝ මදක් ඈත් වූහ. 

"තමුසේ එක එක වෙද්දුගෙන් බේත් අරගෙන ලෙඩේ කුණු උනහම අපි ලඟට එනවා. මම දැන් තමුසෙට සුද්ද සිංහලෙන් කිව්වානේ, මුළු කකුළම පැසවලා. කකුළ කපනවා ඇරෙන්න වෙන ප්‍රතිකාරයක් නැහැ. නැත්තං ටිකට් කපාගෙන තමුසෙගෙ වෙදා ලඟට යනවා. "   ඔහු රෝගියාගේ ඇඳ ඉහ පත පසෙකට විසිකොට දැමීය. හෙදියක් පහත් වී එය අසුලාගෙන ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සුදර්ශන් අතට දුන්නාය. 

රෝගියා අසරණ වූ දෙනෙතින් වෛද්‍ය කාර්ය මණඩලය දෙස බැවේ අනුකම්පාව අයදින්නාක් මෙනි. ඉවත යන විශේෂඥ වෛද්‍යවරයා දෙසට හිස හැර වූ ඔහු දොහොත් මුදුන් දී වැන්දේ තමාව ගලවාගන්නා ලෙස බැගෑපත්ව අයදිමිනි.   වෛද්‍ය වල්ගම්පාය එය දුටුවේ ද යන්න සැක සහිතය. ඔහු වෙනත් රෝගියෙකුගේ ඇඳ ඉහපත් වාර්තා පරික්ෂා කළේය. 

"කෝ ලෙඩාගේ X-රේ එක..˜ ඔහු නේවාසික වෛද්‍යවරයා දෙස බැවේ ආධිපත්‍ය සහිත බැල්මකි‚.  

 "සර් X-රේ එක ගන්න ලෙඩා යැව්වේ උදේ, තාම රිපෝට්ස් වාට්ටුවට එවලා  නැහැ.˜ නේවාසික වෛද්‍යවරයා බියපත් වූ හඬින් කීය. 

 "අයිසේ, රිපෝට් කකුල් දෙක ලඟට එනකන් ඉන්නේ නැතුව X-රේ එක වෙට් ප්ලේට් හරි ගේනවා. අද තියටර් ගන්න​ ඕනෑ. දැන්මම X-රේ එක ගේනවා.˜ ඔහු දුන්නේ දැඩි නියෝගයකි.   නේවාසික වෛද්‍යවරයා කඩිනමින ් X- රේ අංශය වෙත දිව ගියේය. 

රෝගියාගේ බඩේ නාභිය අසල මඳක් ඇඟිලි තුඩුවලින් තද කළ ඔහු —කැක්කුම˜ දැයි ඇසීය. රෝගියා හොඳට වැඩුණු අතපය ඇති ඉලන්දාරියෙකි . එහෙත්   උදරයෙන් එන වේදනාව නිසා ඔහු —අම්මේ˜ යැයි කීය.   "හරි දැන් ඔහු තියටර් යවන්න" ශල්‍ය වෛද්‍යවරයා නියෝගයක් දුන්නේය. හෙදියක් සේවකයෙකුට කථා කොට ට්‍රොලියක් ගෙන එන ලෙස කීවාය.   යළිත් වරක් රෝගියාගේ ඇස් යට පරික්ෂා කළ වෛද්‍ය වල්ගම්පාය උදේ  ඉඳන් මොකුත් කෑවේ බිවේ නෑ නේදැයි  රෝගියාගෙන් විමසීය.  

 "ඩොක්ටර් ආප්ප දෙකකුයි කෝලිකුට්ටු ගෙඩියකුයි කෑවා.˜රෝගියා කීවේ වරදක් කළාදැයි දෙගිඩියාවෙනි.   

යළිත් වරක් වෛද්‍ය වල්ගම්පාය කෝප විය. "අයිසේ මං කියලා තියෙනව නේද මං බලනකන් ලෙඩ්ඩුන්ව ෆාස්ටින් තියන්න කියලා..˜ මෙවර ඔහු හැරුනේ හෙද සොයුරිය දෙසටය.  

 "සිස්ට මේක හැමදාම කරන්න බැහැ. නර්ස්ලා කියන්න න ලෙඩ්ඩුන්ට කන්න එපා කියලා.˜ හෙද සොහොයුරිය වාට්ටුවේ හෙදිය දෙස බැළුවේ චෝදනාත්මක දෙනෙතිනි. වාට්ටු භාර හෙදිය තරුණය, ඇයට ඇත්තේ ප්‍රසන්න මුහුණකි.  

 "අපි ලෙඩ්ඩුන්ට කියනව සර්.....˜ ඇය බිම බලාගෙන කීවාය. 

  "ඇයි මිසී කියල තියෙද්දිත් ආප්ප කෑවේ˜ හෙද සොහොයුරිය රෝගියා ගෙන් තදින් ඇසුවාය.  

 රෝගියා මදක් නොසන්සුන් විය.  "නැහැ මිසී මට කවුරුවත් කන්න එපා  කිවුවේ නැහැ. මම කෑවේ ආප්ප දෙකක් විතරයි. ඉතුරු ආප්ප තුන මම ඔතනම තිබ්බා "   රෝගියා ඇඳ අසල තිබූ කුඩා කබඩ් එක උඩ තිබූ පාර්සලයට ඇගිල්ල දික් කළේය. 

වෛද්‍ය වල්ගම්පාය කිසිවක් නොකීවේය. ඔහු තුළ ඇතිවූයේ කෝපය  මත සියල්ල එපා වූ ස්වභාවයකි.  මෙම රෝගියා පෙරදින ඔහුගේ චැනල් සේවයට පැමිණියේ පියා සමගිනි. රෝගියාට ශල්‍යකර්මයක් අවශ්‍ය බව ඔහුට වැටහිණි . රෝගියා වාට්ටුවට ඇතුලත් කළේ අද දින උදේ වරුවේ ශල්‍යකර්මය කිරීම සදහාය. ශල්‍යකර්මයෙන් පසු ඔහු මහනුවර බලා යාමට සිටියේ කොළඹින් එන   ඥාතීන් පිරිසක් පිළිගැනීමටය. දැන් වැඩ පිළිවෙල කඩාකප්පල් වී ඇත. යළි රෝගියාට ශල්‍යකර්මයක් කළ හැක්කේ සවස දෙකෙන් පසුවය. එය අවසන් වී මහනුවර යන විට බොහෝ සවස් වනු ඇත.

  වෛද්‍ය වල්ගම්පාය ලෙඩුන් බැලීම නවත්වා ශල්‍යාගාරයට ගියේ සුළු සුළු ශල්‍යකර්ම නිම කොට දැමීමටය. විසප්පු ගෙඩි, අධෝමාර්ගයේ ගෙඩි, නහර ගැට ගැසුණු රෝගීන් ගේ නහර වලට එන්නත් කිරීම් වැනි කෙටි වේලාවක් ගතවන ශල්‍යකර්ම කිරීම ඔහු ඇරඹීය. අන් දිනවල මෙවැනි ශල්‍යකර්ම කරන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් විසිනි. එහෙත් අද ඔහු සුළු වැඩවලට අත ගැසීය.  
ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා රෝගීන් ගේ රෝග ඉතිහාසය විමසමින් ඔවුන්ව නිර්වින්දනය කළහ. විනාඩි දහයක් පමණ කාලයක් ගත වන මෙම ශල්‍යකර්ම වලට හිරිවැට්ටවීම පමණක් ප්‍රමාණවත්ය. සුදු ඇදුම ඇදගෙන පෙළ ගැසී සිටි රෝගීන් වරකට එක් අයකු බැගින් ශල්‍යාගාරයට ඇතුල් වූහ. සෑම රෝගියෙකුගෙන් ඔහුගේ නම විමසා රෝග ඉතිහාසය ලියා ඇති ලිපි ගොණුව පරික්ෂා කොට බලා කළයුතු ශල්‍යකර්මය කුමක්දැයි අවබෝධකරගත් ඔහු ශල්‍යාගාර හෙදියගෙන් අවශ්‍ය උපකරණ ඉල්ලා ගත්තේය. වෙනදා   හෙදියන් සමඟ විහිළු තහළු කරගත් ඔහු අද නිහඞවම තම රාජකාරිය කළේය.   

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් පැමිණ දෙවැනි ශල්‍යාගාරයේ වැඩ පටන් ගත් අතර රෝගීන්ගේ පෝලිම ක්‍රමයෙන් අඩු විය.  

"සර් තේ ලෑස්තියි.˜ හෙදියක් වෛද්‍ය වල්ගම්පායට පැවසුවාය. තේ එකක අවශ්‍යතාව ඔහුට දැනී තිබු‚. ශල්‍යකර්මය අවසන් කළ ඔහු අත්වැසුම් ඉවත් කළේ තේ කෝප්පයක් පානය කිරීම සඳහාය. 

"තේ සල්ලි මට මාස දෙකකින් දෙන්න බැරිවුනා.˜ ඔහු හෙදියට කීවේ යමක් අතපසු වූ විලාශයෙනි. —මම යන්න ඉස්සෙල්ලා සල්ලි ඉල්ලා ගන්න.˜ 

"කමක් නෑ සර් පස්සේ ගමු˜ හෙදිය තාලයට නැලවෙන ස්වරයෙන් කීවාය.   

වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේකාගාරටය ගියේ යමෙකු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇතුම් දිනවල නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා තේ බිමට පැමිණෙයි. එවිට ඔවුහු රෝහලේ අඩුපාඩු ගැන කථා කරති. එහෙත් අද ඔහුගේ ක්ලිනික් දවස විය යුතුය. තේ පෝච්චියෙන් කිරිතේ එකක් වක්කර ගත් වෛද්‍ය වල්ගම්පාය හාන්සි පුටුවේ දිගඇදුනේ අද දිනයේ සිදු වූ අප්‍රසන්න සිදුවීම් යළි මතකයට ගනිමිනි.   

යමෙකු දොර අසල සිටිනු දැක ඔහු දොර රෙද්ද මෑත් කළේය. ඇද ඉහපත් මිටියක් අතින් ගත් උපස්ථායකවරියක් දොර​ අසල සිටියාය. 

 "සර් ලෝකල් පර්චස් වගයකට අත්සන් ගන්න"  

ඔහු උපස්ථායකවරියට ඇතුළට එන ලෙස කීවේය. ඇය ලේඛන මිටිය අසල මේසය උඩ තැබුවාය. 

"ඉතින් ප්‍රේමා කොහොමද වාට්ටුවල තොරතුරු? වෛද්‍ය වල්ගම්පාය උපස්ථායකවරියගෙන් විමසුවේය.   

මැදිවියේ පසුවන උපස්ථායකවරිය වන ප්‍රේමා දිගු කාලයක් පුරා ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නීය. වල්ගම්පාය වෛද්‍යවරයා සීමාවාසික වෛද්‍යවරයෙකුව සිටින කාලයේදී ද ප්‍රේමා කාන්තා වාට්ටුවේ සේවය කළාය. වාට්ටුවේ සිදුවන දෑ පිළිබඳ තොරතුරු ලබාගන්නේ ප්‍රේමාගෙන්ය. කේලම් කිමේ උපන් හපන් කමක් ඇති ඇය ගිරවියක සේ වාට්ටුවේ වන සිද්ධීන් ඔහු සමග පවසන්නීය.  

"සර් දර්ශන මහත්තයා ඊයේ අවේ උදේ 10ත් පහුවෙලා. ලෙඩ්ඩු බලනකොට සර්ගේ චිට් එකක් තිබ්බ ලෙඩෙකුටත් කෑගැහුවා.˜ 

සීමාවාසික වෛද්‍යවරයෙකු වූ දර්ශන නාහෙට නාහන්නෙකි. ඔහු ඇතැම් විට වාට්ටුවට ප්‍රමාද වී පැමිණේ. තමා විසින් චැනල් මධ්‍යස්ථානයේ දී ලෙඩ බලා වාට්ටුටට ඇතුළු කරන ලෙඩ්ඩුන්ට විශේෂ සැළකිල්ලක් වෛද්‍ය දර්ශන නොදක්වන බව මීට පෙරත් ලෙඩුන් කීපදෙනෙකු කිවා මතකය. මොහු සම්බන්ධයෙන් යමක් කළයුතු බව වෛද්‍ය වල්ගම්පාය ඉටාගත්තේය. 

"ඉතින් තව මොනවද˜ ඔහු ප්‍රේමා දෙස බැවේ තවත් තොරතුරු දැනගන්නා විලාසයෙනි. "  

"දීපිකා මිස් පෙරේදා රෑ ආවේ නැහැ. ළමයට අසනීපයක් කියලා. හේවාපතිරණ මිස් තමයි තනියම රෑ ඩියුටි කළේ "  

 ප්‍රේමා ඔහුට පවුලේ සාමාජිකාවක් මෙනි. ඔහුගේ බිරිඳ ඔහුට මුලින්ම මුණගැසුණේ ශල්‍යාගාරයේදීය. එවකට ඇයද සීමාවාසික වෛද්‍ය වරියකි. ඔවුන් අතර ගොඩනැගුණු සම්බන්ධතාවයට ඇයගේ පවුලේ උදවිය කැමැත්තක් නොදැක්වූයේ කුල ප්‍රශ්ණයක් මතය. තම පෙම්වතියගේ ගෙදරින් ඇති තහංචි නිසා ඔහු එකළ සිටියේ දැඩි මානසික පීඩනයකිනි. ඔවුන් දෙදෙනා පිළිබඳව විමසිලිවත් වන ලෙස ඇගේ පියා රෝහල් දිස්ත්‍රික් වෛද්‍යවරයාට පවා කියා තිබුණි. ප්‍රදේශයේ ධනවතෙකු මෙන්ම බලවතෙකු වූ ඇයගේ පියා වල්ගම්පායට වරක් කුළ මල කියා අපහාස කරන ලදි. මේ කාලය අතර තුර ඔවුන්ගේ පණිවුඩ දෙදෙනා අතර ගෙන ගියේ ප්‍රේමාය.  ඔහු විසින් ලියන ලද හසුන් පත් ප්‍රේමා ගෙන ගොස් ළමා වාට්ටුවේ වැඩකරන පෙම්වතියට දෙන්නේ රහසිනි.

 කාලය ගත වූයේ කොපමණ ඉක්මනටද? ඇයගේ පියා හෘද්‍යාබාධයක් සෑදී මිය ගියේ අනපේක්ෂිකවය. ඒ වන විට ඇය කොළඹ ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිවරිය වූවාය. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වීමේ අභිලාෂයෙන් පෙළුන ඇය තම ඉලක්කය කරා ගියේ දැඩි ආත්ම විශ්වාසයකිනි. ගම්පහ රෝහලේ සේවය කරන සමයේ ඔහු ඇය බැලීමට කොළඹ රිජ්වේ රෝහලට නිබඳවම ගියේය. ඇයගේ පියාගේ මරණින් පසු ඔහුට තිබූ ප්‍රධාන බාධකය ඉවත් විය.   ශල්‍ය වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඔහු තුළ උනන්දුව තිබුණද විශේෂඥ වෛද්‍ය විභාගය කිරීමට ඔහුව යොමු කළේ ඇයයි. දැන් ඔහු ශල්‍ය විශේෂඥවරයෙකි. ඇය ළමා රෝග විශේෂඥවරියකි. එහෙත් ප්‍රේමා තවම එකම තැනය.  

 ඔහු ප්‍රේමා විසින් ගෙන එන ලද ලිපි ගොනුවේ අත්සන් කළ යුතු තැන් වල තම කෙටි අත්සන තැබුවේ වාට්ටුව ගැන කල්පනා කරමිනි. ප්‍රේමා පිටත්ව යෑමත් සමග වෛද්‍ය සුදර්ශන් කාමරයට ඇතුළුවිය. කොළ පැහැති ශෛල්‍ය ඇඳුම ඇද සිටි ඔහු තම රෙදි හිස් වැස්ම ගැලවූයේ නළලින් වැගිරෙන දා ඩියද පිස ගනිමිණි.  

 "සර් ලිස්ට් එක ඉවරයි. අර ෆාස්ටින් නැති ලෙඩා තියටර් අරගෙන   ඒක කරන්නද?˜   

ඇත්ත වශයෙන්ම මෙය ඔහුට සහනයකි. දහවල් දෙකට සුදර්ශන්ට ශල්‍යකර්මයක් ආරම්භ කළ හැකිය. ඒ  සමඟම ඔහුට නුවර බලා යාමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. 

 " ඉස් දෙයා එනි ප්‍රොබ්ලම් යූ කෝල් මයි ෆෝන්.˜ ඔහු කීවේ සැහැල්ලු සිතෙනි. සුදර්ශන්ගේ ශල්‍ය හැකියාවන් ඔහු විශ්වාස කළේය. ඔහුට මනා අත් ගුණයක් ඇත. එහෙත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට ඔහු තුළ කැමැත්තක් නැත. සුදර්ශන්ට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයෙකු වීමටය. දැනටමත් සුදර්ශන් ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පළමු විභාගය සමත්ව තිබේ. ප්‍රජා වෛද්‍ය විද්‍යාවට ලොල් කරන වෛද්‍යවරයෙකු ශල්‍ය වෛද්‍ය වාට්ටුවක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී ලෙස පත් කිරීම ගැන ඔහුට තිබුණේ ගැටළුවකි. එහෙත් වෙනසකින් තොරව සුදර්ශන් වාට්ටුවේ වැඩ හොඳින් කරගෙන යයි.   

"සර්, අර මෑන්ගේ කකුළ කපන්නේ නැතුව අපි ට්‍රයි එකක් දෙමුද?˜ සුදර්ශන් ඇසුවේ ශල්‍ය වෛද්‍යවරයාගේ තීරණය අභියෝගයට ලක් නොකරණ ස්වරයෙනි.   

"කොයි මෑන්ගේද?˜ ශල්‍යවෛද්‍ය වල්ගම්පායට රෝගියා ගැන හරි හැටි නිච්චියක් නොවීය.  

 "සර් අර වෙදා ගෙන් බේත් කරලා කකුළ ඉන්ෆෙක්ට් කරගෙන ඉන්න මෑන්, අපි අද උදේ බැළුවේ"  

"හරි... හරී...˜ වෛද්‍ය වල්ගම්පාය කීවේ නොරිස්සුම් හඩකිනි. "කකුල ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා. සෙප්ටිසීමියා වලට යන්න ඉස්සෙල්ලා කපන්න වෙයි. මෝඩයෙක්... තුවාලෙට පත්තු බැඳලා. අනෙක් මිනිස්සුන්ට පාඩමකටත් එක්ක මුගෙ කකුල කපන්න   ඕන.˜ ඔහු කීවේ යුද්දේ දී අල්ලාගත් සිරකරුවෙකුට සමාව නොදිය යුතුය යන ආකල්පයේ සිටින හමුදා නිළධාරියෙකු මෙනි.

"අනිද්දා තියටර් ගමු..˜ ඔහු සියල්ල තීන්දු කළේය.   

වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොකියා විශේෂඥ වෛද්‍ය නිළධාරී කාමරයෙන් එළියට පැමිණියේය. එදින දිවා ආහාරයෙන් පසු ශල්‍යවෛද්‍ය  වල්ගම්පාය නුවර ගියේ මදක් දෙගෙඩියාවෙනි. වෛද්‍ය සුදර්ශන්ට ශල්‍යකර්මය කිරීම ගැන ගුරුහරුකම් දුන් ඔහු යම් ගැටළුවක් මතු වුවහොත් දුරකථනයෙන් ඇමතුමක් දෙන ලෙස කීවේය. එහෙත් නුවර ගිය වහාම ඔහුට රෝගියා ගැන මතක් නොවීය. කලෙකට පසු   ඥාතීන් දුටු විට ඔහුට සියල්ල අමතක විය. රෝගියාගේ තත්ත්වය විමසීම සඳහා වෛද්‍ය සුදර්ශන්ට දුරකථනයෙන් කතා කිරීමට අමතක වූ නමුදු සවස හතට පමණ සුදර්ශන් වෛද්‍ය වල්ගම්පායට කථා කළේය. ශල්‍යකර්මය සාර්ථක බවත්, රෝගියා දැන් සිහිය ලබා වාට්ටුවට ගෙන ආ බවත්, සුදර්ශන් දැන්වීය. වෛද්‍ය වල්ගම්පායගේ සිතට දැණුනේ සහනයකි.  

 "තෑන්ක් යූ සුදර්ශන්, මම හෙට එන්නේ නැහැ. පොඩි වැඩ වගයක් යෙදිලා. වෝඩ් එකේ වැඩ බලාගන්න.˜ ඔහු තම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියාට කීවේ සැහැල්ලු සිතිනි. ශල්‍ය වාට්ටු වලට නිතිපතා නොගියද, වාට්ටුවේ සිදුවන දෑ සියල්ලම ඔහුට ප්‍රේමා මගින් දැනගන්නට ලැබේ.    

ඥාතීන්ට තම නිවසේ අසිරිය පෙන්වා වෛද්‍ය වල්ගම්පාය ලැබුවේ අසීමිත ප්‍රීතියක් හා අභිමානයකි.   "පුතා, නුවරට මාරුවක් ගත්තොත් නරකද?˜ විල්බට් බාප්පා ඇසුවේ විටක් කටේ දමා ගනිමිනි.

"පහුවෙලා එනවා˜ ඔහු කීවේ නුවරට මාරුවක් ගැනිමට තමා එතරම් කැමැත්තක් නොදක්වන විලාශයෙනි. මහනුවර රෝහලට පත්වීමක් ලැබුණේ තමාට වඩා කණිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකටය. ඒ පිළිබඳ විරෝධතා නඩුවක් පැවරුවද තවම තීන්දුව ප්‍රකාශයට පත් වී නොමැත.  

 "නුවරට ආවා වගේ නොවෙයි. මෙහේ හරියට වැඩ.˜ බිරිඳ කීවේ නුවරට මාරුවක් ගැනීම යනු — තව්තිසා දෙව්ලොවට˜ පැමිණීම​වැන්නක් නොවන බව විල්බට් බාප්පාට සනාථ කිරීමට මෙනි.   

පසු දින වාට්ටුවේ වැඩ කටයුතු පිළිබඳ වගකීම පැවරුණේ වෛද්‍ය සුදර්ශන්ටය. ඔහු රෝගීන්ව හොඳින් පරීක්ෂා කළේය. 

"හොඳ දොස්තර මහත්තයා. ලෙඩුන්ට හරිම කරුණාවයි. දෙමළ මහත්තයෙක් වුනත් හොඳට සිංහල කථා කරනවා.˜ ඇඳක් නොමැතිව බංකුවේ වාඩි වී සිටි උපාරිස් පැවසීය. 

උපාරිස්ගේ කකුලේ තුවාලයකි. එය දැනට අවුරුදු තුනකටත් වඩා පැර‚ය. ඔහු වාට්ටුවට ඇතුළුවන්නේ තුවාලය පෙන්වමිනි. ගෙයක් දොරක් නැති උපාරිස්ට වාට්ටුවෙන් තුන් වේලම නොමිලයේ කෑම ලැඛෙයි.  

" ඒ උනාට අපි කොහොමද දන්නේ හිත අස්සේ මොනවා තියෙනවාද කියලා. යටින් ඔක්කෝම කොටින්ට සපෝට්.˜ පැවසුවේ උපාරිස් අසල සිටි තරුණ රෝගියෙකි. හමුදාවෙන් පලා ඇවිත් ගමේ චණ්ඩිකම් කළ ඔහුගේ මුහුණ හරහා දැලි පිහි පාරක් වැදී තිබේ. දැන් තුවාලය හොඳටම සුව වී ඇත.   

වාට්ටුවේ රෝගීන් සියළු දෙනාවම පරික්ෂා කළ වෛද්‍ය සුදර්ශන් කකුල පැසවා තිබුණු රෝගියා ගැන විශේෂ අවධානය යෙදීය. 

"මිස් මේ ලෙඩාට කොහොමද?˜ ඔහු හෙදියගෙන් විමසීය. 

"මෙයාට උණ තියෙනවා. දැන් කෑම කන්නෙත් නෑ.˜ හෙදිය පැවසුවාය. 

"කෝ දිව පෙන්නන්න...˜ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රෝගියාගේ කම්මුලට සිහින් තට්ටුවක් දැම්මේය. අසරණ විලාශයකින් ඇඳේ වැතිර සිටි රෝගියා මුඛය ඇර දිව පෙන්වීය. 

"ලේ මදි වගේ.., HB  එකක් කරන්න. මොනවද දැන් දෙන ඇන්ටිබයොටික්ස්.˜ ඔහු හෙදියගෙන් ඇසුවේ රෝගියාගේ ඇඳ ඉහපත් වාර්තාව කියවන ගමන්ය.   "ඩොක්ටර් මෙයාට දෙන්නේ   ඕරල් ඇමොක්සසිලිනුයි, ෆ්ලැජිළුයි" 

 "ඒක මදිනේ..˜ වෛද්‍ය සුදර්ශන් හෙදියගේ දෑස දෙස එක එල්ලේ බැලීය. 

"දන්නැහැ ඩොක්ටර්. සර් දෙන්න කිව්වේ ඒවා තමයි.˜  

"බැරිද මෙයාට Zinacef ටිකක් දෙන්න.˜ වෛද්‍ය සුදර්ශන් ඇසුවේ වාට්ටුවේ මෙම ඛෙහෙත නොමැති බව දැනගෙනය. 

  "ඒකට  DMO  ට ලියන්න  ඕන. සර්ජන් අත්සන් කරලා.˜ හෙදිය කීවේ මෙම ඖෂධය ලබා ගැනීමට වෛද්‍ය වල්ගම්පායගේ අනුමැතිය අවශ්‍ය බව පෙන්වීම සඳහාය.  

 "සර් එන්නේ හෙට. අදම පටන් ගන්න පුළුවන්නම් හොඳයි,˜ වෛද්‍ය සුදර්ශන් කීවේ රෝගියා දෙස බලමිනි. 

"අනේ, දොස්තර මහත්තයෝ මගේ කකුල කපන්න එපා.˜ රෝගියා ආයාචනය කළේය.  

 "මොකද එහෙනං පත්තු බැන්දේ..˜ හෙදිය රෝගියාට කඩා පැන්නාය.   

විශාල වරදක් කර අසුවූවෙකු මෙන් රෝගියා හෙදිය හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දෙස බැලීය. 

"පලංචියෙන් බහිනකොට උණ කීරක් කකුලේ ඇනුණා. දවස් දෙකකට පස්සේ එතැන ගෙඩියක් ඇවිල්ලා සැරව පිරිලා රිදෙන්න ගත්තා. මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ, ඛෙහෙත් ගන්න යන්න. අපේ අල්ලපු ගෙදර ඉන්නේ වෙදෙක්. උන්දෑ බේත් වගයක් අඹරලා ගෑවා. ඊට පස්සේ කකුලේ හම වණ වෙලා කුද්දටි ආවා...˜ තව දුරටත් කතා කිරීමට ඔහුට නොහැකි බව පෙනුනි. —අනේ.. මහත්තයෝ.... බුදුබව අත්වෙයි මගේ කකුල කපන්න එපා....˜ ඔහුට තව දුරටත් කතා කිරීමට අපහසු විය.   

වෛද්‍ය සුදර්ශන් රෝගියාගේ කකුලේ වූ තුවාලය පරීක්ෂා කර බැලීය. කලවේ සිට බත් කෙණ්ඩ දක්වා පැතිරී ගිය විශාල තුවාලයකි. තුවාලය නිසා රෝගියා දිනෙන් දින දුර්වල වෙයි.   වෛද්‍ය සුදර්ශන් ඇඳ ඉහපත පරික්ෂාවෙන් බැලීය. රෝගියාට පිටගැස්ම සඳහා එන්නතක් දී නැත. එහෙත් දැන් සතියක කාලයක් පුරා රෝගියා වාට්ටුවේ සිටියි. ඔහු වාට්ටුවේ ඇටන්ඩන්වරයෙකුට කතා කළේය. ඇටන්ඩන්වරයා රෝගියාට ළං වූයේ මුහුණ ඉවතට හරවා ගනිමිනි. 

"අපෝ ගඳ.. මස් කුණු වෙලා. මේ කකුල නොකපා බේරා ගන්න බැහැ.˜ ඔහු කීවේ වාට්ටුවේ වැඩ කිරීම නිසා තමන්ද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැණුමක් ලබා තිබේය යන හැ`ගීමෙනි.   

වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොෙදාඩා රෝගියාගේ කකුල අංශක තිහක් පමණ උසකට ඔසවා සිටින ලෙස ඇටන්ඩන්වරයාට නියම කළේය. ඉන් පසු ඔහු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් වලින් තුවාලය පවිත්‍ර කළේය. රෝගියා දුබල හඩින් කෑ ගැසුවේ වේදනාව නිසා විය හැක.  

 "මේක තියටර් ගත්තනම් ඉවරයිනේ ඩොක්ටර්..˜ හෙදිය කීවාය. හෙදිය එසේ කීවේ මෙවැනි වැඩ වාට්ටුවේ නොකළ යුතු බව අනියම් විලාශයකින් කියන්නාක් මෙනි.   

"නෑ, දැන් ඉවරයි˜ ඔහු හෙදියට පවසා ගෝස් පටියකින් තුවාලය වෙලීය. —ඛෙහෙත් වෙනස්  කරන්න​. මෙයාට අයි වී ෆ්ලුවිඩ්ස් එක්ක   Zinacef දෙන්න​  මම​ ඩී.එම්.ඕ ට කථා කරන්නම්.˜ වෛද්‍ය සුදර්ශන් කීවේ කෙසේ හෝ මෙම ඖෂධය රෝගියාට ලබා දිය යුතු බව දනවන හැඟීමෙනි'  

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාව දුරකථනයෙන් ඇමතීය. රෝගියා සදහා ප්‍රතිජීවක ඖෂධයක් වන  Zinacef  අවශ්‍ය බව පවසා එම ඖෂධ පිටතින් මිළට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයාගේ අවසරය හෙට අනිවාර්යෙන්ම ලබා දෙන බවට ඔහු වැඩි දුරටත් කීවේය. මේ පොරොන්දුව මත අවශ්‍ය ඖෂධ නිකුත් කිරිමට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එකඟ විය. පැය දෙකක් ඇතුළත දී අදාල ඖෂධ වාට්ටුවට ලැබුණි. 

 පසු දින සෙනසුරාදාවක් වූ නිසා ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය වාට්ටුවට පැමිණියේ නැත. එහෙත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි සුදර්ශන් රෝගියාගේ තුවාලය පෙර සේ සෝදා  පිරිසිදු කළේය. පැය අටකට වරක් ඔහුට ප්‍රතිජීවක එන්නත් කරන ලදී.  

සඳුදා උදෑසන වෛද්‍ය වල්ගම්පාය රෝගීන් බැළුවේ කඩිනමිනි. හදිසි අනතුරක් නිසා වාට්ටුවට එවන ලද රෝගියෙකු නිසා ඔහු ඔහුගේ අවධානය අනෙක් රෝගීන් කෙරෙහි යොමු කළේ යන්තමිනි.  

 "සර්, මේ ලෙඩාට මොකද කරන්නේ˜ හෙදිය කෙට්ටු මේසන්වරයා පෙන්වා ඇසීය.   හෙට ඇම්පියුටේෂන් එකට තියටර් ගන්න˜ ඔහු පැවසුවේ රෝගියාගේ තුවාලයවත් නොබලමිනි. 

"  කෝ අර ඇක්සිඩන්ඩ් වෙච්ච ලෙඩා.....˜ 

"සර්, අර ට්‍රොලියේ ඉන්නවා˜ හෙදිය තරබාරු රෝගියෙකු පෙන්නුවාය.  ඉක්බිති හෙදිය මේසන්වරයා දෙසට හැරී —හෙට ඔහේගේ කකුල කපනවා. අද රෑ හතේ ඉදන් මොකුත් කෑමක් බීමක් ගන්න එපා. මෙන්න මෙතන අත්සන් කරන්න.˜ හෙදිය ඇඳ ඉහපත හා බෝල්පොයින්ට් පෑන ඔහුට දික් කළාය.  

"අනේ නෝනා, ˜ ඔහු දෑත් එකතු කොට හෙදියට වැන්දේය. —මගේ කකුල කපන්න එපා මම රස්සාව කරන්නේ කොහොමද?˜ 

"ඒවා මම දන්නේ නෑ, ඇහුණානේ. සර්ජන් මහත්තයා කිව්වා හෙට ඔපරේෂන් කාමරයට ගන්නවා කියලා. දැන් මෙන්න. ඔපරේෂන් එකට කැමැත්ත දීලා මෙතන අත්සන් කරන්න˜ හෙදිය රෝගියාට විධානය කළාය.   

රෝගියා ඇඳ ඉහපත හෝ පෑන අතට ගත්තේ නැත. ඔහු දෙනෙත් වසා ගත්තේය.  "මගේ කකුල කපන්න දෙන්න බැහැ නෝනා......˜ ඔහු සිහින් හඬින් කියා වැළපුනේය.   

රිය අනතුරට ලක් වී රැගෙන ආ රෝගියාගේ තත්ත්වය බරපතල බැවින් හෙදියට මේසන්වරයා සමඟ වාද කිරිමට වේලාවක් නොවීය. ඇය ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය අනතුරට පත් රෝගියා පරික්ෂා කරන ස්ථානයට ගියාය.   "හෙඩ් ඉන්ජරි එකක්. බර්හෝල් එකක් කරන්න වෙයි.˜ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ගැඹුරු බැල්මක් හෙලමිණි.

හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත් ඔවුහු රෝගියා පිළිබඳ වගකිම බාරගැනීම ප්‍රතික්ෂේප කොට රෝගියාගේ ඥාතීන්ට රෝගියා පිළිබඳව දැනුම් දුන්හ.   

පැය බාගයක් ඇතුළත දේශපාලඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රෝහලට ඇමතුම් ගලා ආවේ වක්කඩය කැඩුවා සේය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාද රෝගියා බැලීමට වාට්ටුවට පැමිණියේය.   

රෝගියාට ශල්‍යකර්මයක් කොට මොළයේ ලේ ගැලීම නැවැත්විය යුතු විය. මෙය බරපතල ශල්‍යකර්මයකි. දැන් එය ඇරඹුවහොත් අද සවස් වන තුරුම කිරීමට සිදු වේ. ඇරත් වෛද්‍ය වල්ගම්පායට තම නීතිඥයා හමුවීමට යෑමට තිබේ. වෛද්‍ය වල්ගම්පාය දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැලිය.   "මේක බොහෝම බරපතල වැඩක්. බර්හෝල් එකක් කරලා ලේ අරන් දාන්න ඕන. අපි කැන්ඩි ට්‍රාන්සර් කරමු " 

 "බැරිද අපට මෙහෙ සර්ජරි කරන්න˜ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා ඇසුවේ රෝගියා එකවරම නුවරට මාරු කිරීම නුසුදුසු බව සිතූ නිසාය.   
තමාගේ මතය අභියෝගයට ලක් කරන විට වෛද්‍ය වල්ගම්පායට ඉවසුම් නොදේ. "ඩොක්ටර් ජයසිංහ...˜ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැවේ කෝප වූ දෙනෙතිනි. — මමයි මේ හොස්පිටිල් එකේ සර්ජන්. ලෙඩාට ස්පෙෂල් කෙයා අවශ්‍යයි. ලෙඩාව අපි නුවරට ට්‍රාන්සර් කරනවා.˜ ඔහු සංවාදය නිම කළේ රෝගියා මාරුකිරීමට අවශ්‍ය ලේඛණය පිරවීමට වෛද්‍ය දර්ශනට අණ කරමිණි. 

  "සර්, ට්‍රාන්සර් කරන හේතු මොකක් කියලද දාන්නේ?˜ වෛද්‍ය දර්ශන ඇසුවේ ඔලොක්කුවට මෙනි. 

" අයිසේ දානවා For Special Management  කියලා.˜ ඔහු නොඉවසිලිමත්ව පිළිතුරු දුන්නේය. 

වැඩි කලබලයකින් තොරව වගකීම නුවර පැටවීමට හැකිවීම ගැන ඔහු සිටියේ උද්දාමයෙනි. හැකි ඉක්මනින් රෝගියා ගිලන් රථයට දමන ලෙස වැඩි දුරටත් පිරිසට අණ කළේය.  

"සර්, මාත් ලෙඩා එක්ක යන්නද?˜ දර්ශන ඇසුවේ නුවර සවාරියක් යාමේ අභිලාෂයෙනි. 

"හොඳයි දර්ශනත් යන්න. ˜ ඔහු නේවාසික වෛද්‍යවරයාට අවසර දුන්නේය. ඔන්න අපි අපේ යුතුකම කළා. වාට්ටුවේ දොස්තර කෙනෙක් එක්ක ලෙඩා නුවර යැව්වා.˜ වැනි බැල්මකින් ඔහු ලෙඩාගේ ඥාතීන් දෙස බැලීය. 

 "ඩොක්ටර් ලෙඩාට අමාරුද?˜ රෝගියාගේ ඥාතියෙක් විචාලේය. 

"ඔව් ටිකක් අමාරුයි. ඒක නිසයි අපි ලෙඩාව නුවර යැව්වේ. බයවෙන්න එපා අපේ දොස්තර මහත්තෙකුත් ලෙඩා එක්ක ගියා.˜ වෛද්‍ය වල්ගම්පාය කීවේය.   

දහවල් කාලය වැඩි කලබලයකින් තොරවම ගෙවී ගියේය. එහෙත් හදිස්සියේම ඔහුට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාගෙන් ඇමතුමක් ලැබුණි .

  "සර්, අපි නුවරට ට්‍රාන්සර් කරපු ලෙඩා නුවරට කිට්ටු වෙද්දී මැරිලා. නුවරට ගිහාම කියලා තියෙනවා නුවරට එවන්නේ නැතුව මෙහෙ බර්හෝල් එක කළා නම් ලෙඩා බේරාගන්න තිබුණා කියලා. මැරිච්ච මිනිහා බිස්නස් කාරයෙක්. මේක ඇදෙයිද දන්නේ නැහැ.˜ 

 "ඩොක්ටර් ජයසිංහ, ඔය මිනිස්සු මාත් එක්ක ඇටෑක් එකට ඉන්න නිසා ඔය එක එක කතන්දර කියනවා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැනේ. අපි මොනවා කරන්නද?˜ ඔහු රිසිවරය තැබුවේ කැළඹුණු සිතිණි .  උගෙ කරුමෙට ඌ මැරිලා.  ඒකට මම මොනවා කරන්නද?˜ ඔහු සිතෙන් මළ මිනිසාට දොස් පැවරීය. මියගිය රෝගියාගේ ඥාතීන්ට නුවර රෝහලේ වෛද්‍යවරුන් තමා පිළිබඳව යම් දොසක් පැවසුවහොත් ඔවුන් තමා සමඟ තදින්ම උරණ වනු ඇත. මියගිය තැනැත්තා යමක් කමක් කළ හැකි අයෙකි. —අපරාදේ මම ට්‍රාන්සර් කළේ. මෙහෙ තියටර් ගත්තානම් ප්‍රශ්ණේ ඉවරයි. මෙහිදී මැරුණානම් කියන්න පුළුවන් අපි කරන්න පුළුවන් හැමදේම කළා කියලා. ඔහු හිසට අත තබාගෙන සිතුවේය.  

 "ඇයි සර් හිසේ ඇම්මද?˜ ප්‍රේමා ඇසුවාය. 

"නෑ, නිකං ප්‍රේමා, ඇයි ප්‍රශ්නයක්ද?˜ 

"  සර්, ......˜ ප්‍රේමා රහසක් කියන්නාක් මෙන් ළං වූවාය. —අර හැප්පිලා මැරිච්ච මුදලාලිගේ මල්ලිලා වගයක් OPD එකේ කෑ ගහනවා. අපේ වාට්ටුවේ කවුරු හරි කියලා, සර් ලෙඩ්ඩු හරියට බලන්නේ නැතිව නුවරට යවනවා කියලා. මට හිතෙන්නේ සුගතපාල මහත්තයා වෙන්න ඕන.  

සුගතපාල යුනියන්කාරයෙකු නිසා ඔහු සමඟ පැටලීමද සුභ නැත. සුගතපාලට සුභසාධක මුදල් වංචා කිරීමේ චෝදනාවක් තිබේ. මේ දක්වා ඔහු දැක්වූයේ නිහඞ ප්‍රතිපත්තියකි. මුගේ සුභසාධක කේස් එකට ඇටෙන්ඩන්ලාව ෆෝම් කරා නම් හරි. ඔහු සිතුවේ සුගතපාලගේ ඇල්ලිය යුතු නිළය ගැන සිතමිණි. ලබන සැරේ මිනිහව වෙන වෝඩ් එකකට දාන්න කියනවා.  

 "සුගතපාල මහත්තයා මොකටද ඔය අනවශ්‍ය දේවල් ගැන කියවන්නේ. අර තමන්ට තියෙන සුභසාධක සංගමයේ මුදල් වංචා කිරීමේ චෝදනාව ගැන බලාගත්තානම් ඉවරනේ.˜ ඔහු ප්‍රේමා දෙස යන්තම් බලා කීය. ප්‍රේමා මෙම ආරංචිය රැගෙන රෝහල පුරා යනු ඇත. එයින් වත් සුගතපාල මට්ටු වනු ඇතයි වෛද්‍ය වල්ගම්පායට සිතිණි.  අද දිනයේ රෝහලින් බැහැරව යාම සුදුසු නැත. ඔහු අරමුණකින් තොරව වාට්ටුවේ රැදී සිටියේය. නීතිඥයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු නීතිඥයා හමු වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. —මේ අහක යන කේස් එකක් නිසා මුළු දවසම පාළු උනා.˜ ඔහු සිටියේ නොරිස්සුම් ගතියෙනි.  

 "සර්, හෙට තියටර් ලිස්ට් එක යවන්නද?˜ නේවාසික වෛද්‍ය නිරූපමා ඇසුවාය. දර්ශන නුවර යාම නිසා ඇය ඔහුගේ වැඩ කොටසද කරන්නීය. "යවන්න˜ ඔහු පැවසූවේ වාට්ටුවේ ප්‍රශ්න විය හැකි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය යුතු බැවිනි. තවත් ප්‍රශ්න වෙන්න ඉස්සරවෙලා වාට්ටුව සුද්ද කරගෙන ඉන්න ඕනෑ. ඔහු අදිටන් කර ගත්තේය. 

පසු දින උදෑසන ඔහු ශල්‍යාගාරයට පැමිණියේ වාට්ටුවේ මෙතෙක් ප්‍රමාද වී තිබුණු ශල්‍යකර්ම අවසන් කිරීම සඳහාය. ප්‍රධාන ශල්‍යකර්ම තුනක් කිරීමෙන් පසු ඔහුට මේසන්වරයා මතක් විය.   "අර කකුල ඇම්පියුවේට් කරන්න ඉන්න ලෙඩා තවම ගෙනාවේ නැත්තේ ඇයි.? ඔහු ඊළගට මේසන්වරයා ගෙන එන ලෙස නේවාසික වෛද්‍යවරියට නියෝග කළේය. පැය බාගයක් පමණ ගත වුවද රෝගියා වාට්ටුවෙන් එව්වේ නැත. මෙවර ඔහුට කේන්ති ගියේය. "අයිසේ, මොකද මේ වැඩේ?. ඉක්මනට ලෙඩා එවනවා.˜ වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය වාට්ටුවේ හෙදියට නියෝගයක් දුන්නේ දුරකථනයෙනි. 

"සර්, කකුල කපන්න දෙන්න බැහැ කියනවා. BHT එකේ අත්සන් කරලත් නැහැ...˜ හෙදිය පැවසුවේ තම අත වරදක් නැතැයි කියන ස්වරයෙනි.   විශේෂඥ වෛද්‍ය වල්ගම්පාය තම හිස් වැසුම හා අත්වැසුම් ගලවා දැමුවේ කෝපයෙනි. අනතුරුව රිසිවරය තදින් අල්ලාගත් ඔහු හෙදිය ඇමතීය. —ඇම්පියුටේෂන් එකට කැමැත්ත දීලා අත්සන් කරන්න බැරිනම් ටිකට් කපාගෙන යන්න කියනවා.˜ ඔහු සංවාදය අවසන් කළේය.

"වෙන ලෙඩෙක් ටේබල් එකට දාන්න..˜ ඔහු නේවාසික වෛද්‍යවරියට පැවසුවේ මුදු ස්වරයෙනි. 

 "සර්, ලෙඩාගේ වුන්ඩ් එක දැන් ටිකක් සනීපයි. සර් දැක්කේ නැද්ද?˜ ශල්‍ය වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට කිට්ටු වී පැවසීය.  

 "වැඩක් නැහැ. සෙප්ටිසෙමික් ෂොක් එකකට ගියොත් ලෙඩා මැරෙයි. ඒකේ බ්ලේම් එකත් මට ගන්න වේවි˜ ඔහු පිළිතුරු වශයෙන් කීවේය.   

සර්, අපි සිනසෙෆ් ස්ටාට් කළා. සුදර්ශන් කීවේ පණ්ඩිත වැඩක් කිරීම පිළිබඳච දොස් ඇසීමට සිදුවේදැයි දෙගඩියාවෙනි.  

"මම හැම දාම තුවාලය සුද්ද කරලා දැම්මා....˜ ඔහු කීවේ තම ක්‍රියාව සාධාරණීකරණය කරන විලාශයෙනි.  

 වෛද්‍ය වල්ගම්පාය කිසිවක් කීවේ නැත. ඔහු නිහව සැතපෙන ශල්‍ය මේසය මත සිටි රෝගියාගේ උදරය හරහා කැපුමක් කළේය.

දිවා ආහාරයෙන් පසු මේසන් රෝගියා බැලීමට ශල්‍ය වෛද්‍ය වරයාට සිත් විය. ඔහු වාට්ටුවට ගොස් රෝගියාගේ තුවාලය පරීක්ෂා කළේය. ගත වූ දින කිහිපය තුළ දී තුවාලයේ යහපත් වෙනසක් වී ඇත. තුවාලය සුව වන ලකුණු පහල වී තිබේ. එහෙත් තමාගේ මුල් තීරණය සිඳ දැමීමට ඔහු සූදා නම් නොවීය.   "බලමු තාම සනීප මදි. තුවාලය පැතිරුනොත් කකුල කපන්න වෙයි.˜  

 "අනේ බුදු දොස්තර මහත්තයෝ, මගේ කකුල බේරලා දෙන්න....˜ රෝගියා යළි ආයාචනයක් කළේය. 

"හෙට මෙයාව තියටර් එකට දාන්න. තුවාලය සුද්ද කරන්න.˜ වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍යවරයා දෙස බලා හෙද සොහොයුරියට පැවසුවේ ප්‍රාණවත් හඩකින්ය. වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කිසිත් විරෝධයක් නොපෑ බැවින් එම තීරණය සම්මත විය.  

" මේ උදේනිස්..˜ සුදර්ශන් රෝගියාට කථා කළේ මෘදු හඩකිනි. "හෙට ඔපරේෂන් කාමරයට ගෙනිහිල්ලා අපි තුවාලය හොඳට සුද්ධ කරමු. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උදේනිස්ගේ කකුල බේරා ගන්න"  

 රෝගියා වෛද්‍යවරයා දෙස බැවේ කෘතඥපූර්වකවය.  පසු දින උදෑසන රෝගියා ශල්‍යාගාරයට ගෙන ගිය සුදර්ශන් රෝගියාගේ තුවාලය හොඳින් සුද්ද කිරීම ඇරඹීය. හැලොතේන් වායුව ආඝ්‍රාණය කිරීම නිසා රෝගියා සිටියේ නිශ්චලවය.  ඒ අතරවාරයේ තුවාලයේ අස්සටම හයිඩි්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් දමමින් හෙතෙම තුවාලය පිරිසිදු කළේය. එදින සවස වන විට රෝගියාගේ උණ බැස තිබුණි. සිහිය ආ පසු ඔහු යමක් කෑමට ඉල්ලීය.   

සුදර්ශන්ගේ වෑයම නිසා රෝගියාගේ තුවාලය ක්‍රමයෙන් සුව විය. මේ කාලය තුළ දී නොකඩවා ප්‍රතිජීවක රෝගියාට ලබා දෙනු ලැබීය. තම කකුල කපා නොදමන බව රෝගියාට දැන් විශ්වාසය. ඔහු හොඳින් ආහාර ගත්තේය. අනෙකුත් රෝගීන් සමග කථා බස් කළේය.   

"මීට පස්සේ පත්තු බඳින්න යන්න එපා ˜ තරුණ හෙදිය වන චිත්‍රාංගනී කීවාය. මෑතකදී පත්වීම ලැබූ ඇය රෝගීන්ට අතිශයින්ම කරුණාවන්තය.  

"අනේ නැහැ මිසී, ˜ උදේනිස් කීවේ යළි වැරදි නොකරන බවට පොරොන්දු වන පාසල් දරුවෙකුගේ විලාශයෙනි.  

 "ඉතිං තමුසෙට වෙදාගෙන් වන්දි ඉල්ලා ගන්න පුළුවන්නේ..˜ කටකාර ඇටන්ඩන්වරයෙකු වූ ජයම්පතී කීවේය. 

" නෑ, කංකානම් මහත්තයා, වෙද උන්නැහේ  මට බේත් කළේ මයිත්තිරියෙන්මයි.. තුවාලේ සනීප වෙන්න කියලා. මගේ කරුමෙට බේත විස වුනා. ඇරත් ඒ  මිනිහා හොඳටම වයසයි. අපේ ගමේ සර්පයි දෂ්ට කරපු ජීවිත කීයක් උන්දෑ බේරාගෙන තියෙනවාද? ˜ ඔහු පිළිතුරු දුන්නේ උපේක්ෂා සහගතවය.  

උදේනිස් සම්පූර්ණ සුවය ලැබුවේ තවත් සුමාන හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ඔහුගේ තුවාලය සනීප වූ අතර කළුපාට තුවාල කැළල පමණක් ඉතිරි විය. ටිකට් කැපුවාට පසු උදේනිස් වාට්ටුවෙන් පිට වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පායගේ දෙපතුල් අල්ලා වැඳ වැටීමෙනි. "මහත්තයාට බුදු බව අත් වෙන්ඩ ඕනෑ.....කකුල නොකපා මාව සනීප කරාට...."  ඔහු පැවසුවේ දෙනෙතින් එන කඳුළු කමිස අත්වල පිස දමමිනි. ශල්‍ය වෛද්‍යවරයා කිසිවක් කීවේ නැත. නිහඩව බලා සිටියා පමණි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

55 comments:

  1. වෙන කියන්න දෙයක් නැ සුපිරියි..සුපිරිම සුපිරි කතාවක්

    අපේ අම්මටත් ඔහොම එකක් උනා , වකුගඩුවේ ඉදන් ම්‍රතාශයට එන ම්‍රත්‍ර නාලයක් කැපිලා , එයාල ඒක පලිගත්තේම නැ , උන වරද විතරක් නෙමෙයි , බඩ ඉදිමෙන එකසහ ගර්භාෂය ඉවත් කලාට පස්සේ යෝනි මාර්ගයෙන් දියරයක් පිටවෙන එකවත් ගණන් ගත්තේ නැ , අම්මගේ රෙදි හෝදපු මම රෙදි වලින් එන්නේ ම්‍රත්‍රා ගදක් එලියට එන්නේ ම්‍රාතා කියුවට පිලි ගත්තෙත් නැ ,

    බැරිම තැන එහෙන් මෙහෙන් බලපැම් කෙරුවහම තමා බැලුවේ , තව ටිකක් පරක්කු උනානං මැරෙනව ,

    වැඩේ ගොඩ දාල දුන්නේ අන්තිමට දෙවනි දොස්තර මහත්තය එයත් ද්‍රවිඩ ජාතිකයෙක්

    ReplyDelete
    Replies
    1. අටම් වෛද්‍යවරයෙකු හැටියට මට එළි පිට නම් ගම් සහිතව විවේචනයක යෙදීම අාචාර ධර්ම කඩ කිරීමක්. නමුත් ඔබ කියන ඔය තත්වය මම සියැසින් දැක තියෙනවා

      Delete
  2. කියන්න හිතාගෙන ආපුවා නම් එමටයි.

    වෛද්‍ය වෘතිය කියන්නේ අතුරේ යනවා වගේ. මට නම් කිසිවෙකුගේ වැරද්දක් පෙනෙන්නට නැහැ. ඒ ඒ අය ඒ ඒ ආකාරයට හැඩගැහිලා තියෙන්නේ. සමහර වෙලාවට හැඟීම් එක්ක ඒ රැකියාව කරන්නත් බැරුව ඇති. මමත් සමස්තයක් විදියට දමිළ වෛද්‍යවරුන් කරුණාවන්ත බව දැකලා තියෙනවා. මම හිතන්නේ ඔතනදි අපේ බලන විදිය තමයි වෙනස් වෙන්න ඕනේ.

    සමහර වෙලාවට සමහර දේවල් වලදී කරපු කෙනා නෙවෙයි ඉලිප්පෙන්නේ. වරදකදී හා යහපත් යමකදී. පුදුමයි නේද.. රැකියාවෙන් වෙනස් උනත් එකම දේවල් අපි වටේ සිද්ද වෙන්නේ... හොඳින් ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. උපේක්‍ෂා මේ කතාවේදී මම පෙන්වන්න තැත් කලේ එම්පති හෙවත් සහනුභූතිය සාධකය​.

      Delete
    2. එම්පති දෙන්න තරම් වෙලාවක්, ඉස්පාසුවක් සහ ඕනෙකමක් තියෙන්නේ හරිම අඩුවෙන්. එතැනදී තමයි කාගේත් වෘතිය ජිවිතේ වෙනස් වෙන්නේ.

      Delete
  3. හරිම සංවේදී සටහනක්. වෛද්‍ය වරුන් දෙවියන් ලෙසයි සලකන්නෙ. නමුත් සමහර වෙලාවට අපිත් අසරන වෙන වෙලාවට සලකන විදිහට නම් කලකිරෙනවා. ඒ උනත් කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන අය ඕනෑ තරම් ඉන්න නිසා උපෙක්ෂාවෙන් ඒ අය දිහා බලනවා. මේ වෘත්තිය ගැන දැකපු හොඳම ටෙලිය තමයි නිරිසත්වයෝ.

    ReplyDelete
  4. I am so grateful that I no longer live in Sri Lanka. My experience with doctors, specialists, nurses and other medical staff in this country is so pleaseant. Above all, they are full of love and compassion for patients. I think Sri Lankan doctors have a lot to learn, not about medicine but about caring for patients.

    ReplyDelete
    Replies
    1. I agree with you , I have been to the hospitals in UK , US , AUS and Canada. I see the difference, however in SL there are some doctors and nursers who are very empathetic.

      Delete
    2. Sri Lanka as a society is the same. People are ignorant about values. Why dont we compare people in UK, AUS, Canada with Sri Lankan people first.
      At least we see doctors talking to patients- calling them "amma" and thatthta"
      Most of the sri lankan specialist have working experience in UK and they have been good in those countries. I think it is "yakage hatiyata wimane"
      Also the work load and demand in Sri Lanka do not permit doctors to spend much time with a patient.
      Further, I have experienced that if a sri lanka doctor taking time and explaning to patient people tend to believe that doctor is incompetent.

      ALso the system has to change. The countries you are telling have good referral system and good payment for doctors. They will take one hour for first consultation. If that is done by Sri Lankan doctors there will be a waiting list of more than 1 - 2 year.

      Delete
  5. ආයුර්වේද වෛද්‍යවරුන් සහ බටහිර වෛද්‍යවරුන් අතර සංවාද වලට වඩා විවාද ඇතිවීම කනගාටුදායකයි. ආයුර්වේද වෛද්‍යවරයකු අතගැසියයුතු කාර්යභාරය සහ බටහිර වෛද්‍ය වරයකු අතගැසියයුතු කාර්යභාරය, හුදු අවබෝධයෙන් විනා, නීති ලෙස සකසා පවත්වාගෙන යාම අපහසුයි. යම් යම් රෝග, ආබාධ, අනතුරු, වලදී, මේ දෙපාර්ශ්වයම එකසේ දස්කම් දක්වන අවස්ථා තිබෙනවා. අපේ රටේ බොහොමයක් රෝගීන් බලාපොරොත්තුවන්නේ ක්ෂණික සහනයයි. පසුකාලීන බලපෑම් ඇතිවේයැයි සිතන්නට ඔවුන් පෙළඹෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක ඔතන තියෙන්නේ ආධිපත්‍ය මානසිකත්වයනේ

      Delete
  6. මේක කියවනකොට මට අපේ හොඳ ගවුරව ආදරයට පත්‍ර වූ එහෙත් ... මිනිස්සුන්ටත් අපිටත් පලු යන්න බනින අපේ sugery prof මතක් වෙනවා. වයිදය වල්ගම්පාය.. බීල තවල කරගත්ත අයට කියන්නේ.. තෝ මොකුත් වරදක් කලේ නෑ.. තොත්ත බබා.. උඹ මල්වට්ටියකුත් අරන්.. සුදු රෙද්දක් ඇඳගෙන .. පාරේ අයිනෙන් නෙවෙයි... කාණුවට බැහැල යනකොට කාර් කරය ඇවිත් උඹව හැප්පුවා කියලනේ නේද?..... කියල මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. අපිට රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුලුවන් නමුත් රෝගීන් විනිශ්චය කරන්න බැහැ. ඒක මම මේ ර​්ටන් ඉගන ගත්ත පාඩමක්

      Delete
  7. හොඳ කෙටි කතාවක් රුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්

      Delete
  8. ඩොක්ටර් රුවන්
    ලංකාවෙ දොස්තර මහත්වරුන්ගෙන් තමන්ට තියන ලෙඩේ ගැන වැඩි විස්තර අහනකොට තද වෙන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ.ඒක ලෙඩාගෙ අයිතියක් කියල ඒ අයට උගන්නන්නෙ නැද්ද? සමහරවිට බෙහෙතක අතුරු ආබාධ ගැනවත් අහනවට කැමති නෑ.ඔබ කියන දේ හරි අධිපතිවාදය.මේ චෝදනාව හැමෝටම නෙමෙයි. මමත් පිටරටක ඉන්න නිසා වෙනස හොඳට පේනවා.ඇත්තටම මේ රටවල වෛද්‍යවරයා තවත් වෘත්තිකයෙක් විතරයි.අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට ලංකාවෙ අපි දෙයියන්නට වගෙ සලකන නිසාද මේ? අර හෙද උපාධියට විරුද්ධ වුනෙත් මේ අයමනෙ.බටහිර රටක හෙද වෘත්තියට යන්න නම් Nursing උපාධිය ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කුමාර ලංකාවේ වෛද්‍යවරුන්ට කමියුනිකේෂන් ස්කිල්ස් , එම්පති බිල්ඩිං , මෙඩිකල් එතික්ස් වගේ පුහුණුව අවශ්‍ය කෙරෙනවා. පුහුණුව ගොඩක්ම සායනික පැත්තට බර නිසා ඉහත ස්කිල්ස් ආමන්ත්‍රණය වන්නේ නැහැ. මේක ප්‍රොෆ් කාලෝ ෆොන්සේකා මාත් එක්ක කියලා තියනවා. ඒ වගේම වෛද්‍ය ඩී. වී. ජේ හරිස්චන්ද්‍ර මහතාත් මේ ගැන කියලා තියෙනවා.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Is this pic gh vauniya wd 1? Looks so familiar

    ReplyDelete
    Replies
    1. Pasindu I have never been to that hospital

      Delete
  11. අපූරු සහා ලස්සන වගේම තමන් ගැන හුගක් අයට (වෛද්‍ය විතරක් නෙවෙයි අනෙක් වෘත්තීන් වලත්) හිතන්න දෙන ලිපියක්!
    මෙතනදි ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් එංගලන්තේ හරි ඇමරිකාවෙදි හරි ලෙඩාට ආමන්ත්‍රනය කරන විදිහට කෙරන්නෙ නෑ කියලා කියන එකේ දෙපැත්තක් තියෙනවා. ඔයා කියන විදිහට ලාංකික වෛද්‍යවරු කොටසකගේ එම්පති සහ කමියුනිකේශන් ස්කිල්ස් කියන ඒවා අන්තිමයි. හැබැයි ඒ එක්කම ඕකේ අනික් පැත්ත තමයි එංගලන්තේ හරි Aussi වල හරි විදිහට ලන්කාවේ රෝගින්ට (හරි රෝහල් කාර්ය මණ්ඩලයට හරි) සලකන්න යනකොට ඒක ලාමක දෙයක් විදිහට නැත්නම් සීරියස් විදිහට නොගන්න මහජනයා කොටසකුත් ඉන්නවා. ඉතින් ලෙඩ්ඩුන් ඇමරිකාවේ විදිහේ සර්විස් එකක් බලාපොරොත්තු වෙනවනම් ඒ හා සමානවම මහජනතාවගේත් සිතුවිලි, හිතන පතන විදිහ, හැසිරීම් සහ ඔවුන්ගේ පර්සනල් ස්කිල් කියන ඒවත් දියුනු වෙන්න ඕනෙ. මම පොඩි උදාහරනයක් කියන්න්නම් මේක අපහාසයක් විදිහට භාර ගන්න එපා. ශ්‍රී ලනකන් ගුවන් සේවයේ චෙන්නායි යන ෆ්ලයිට් එකක ගුවන් සේවිකාවන් මගීන්ට සලකන විදිහයි ශ්‍රී ලන්කන් එකෙම ඒ අයම එන්ගලන්තෙට යන ෆ්ලයිට් එකේදි මගීන්ට සලකන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනව. ඔය තැන් දෙකේදිම වැඩි හරියක් යන මගීන් ශ්‍රී ලාංකිකයින් හබැයි ඔය දෙවිදිහට නොකොලොත් ඒ අයට ඔය දෙගොල්ලවම හසුරවා ගන්න බැරි වෙනවා. ඒකම අපේ සමහරක් රෝගීන්ටත් අදාලයි. සුහදව කියන දෙය සතේකට මායිම් නොකරන බහුතරයක් රෝගීන් ඉන්නකොට සැර වැර නොකොට ලේඩාගෙ ලෙඩේ "හොද කරවලා" දෙන්න බැරි අවස්තා එමටයි. හැබැයි අනෙක් අතට එහෙම කරද්දි ඒ වැනි ලෙසකට සැලකියි යුතු නැති රෝගීන්, ජනතාව කොටසකුත් ඒ same අත්දැකීමම විදිනවා - ඒක හරිම අප්‍රසන්නයි වගේම අසදාරනයි.

    ගමේ ඉස්පිරිතාලෙන් නිකන් හම්බෙන බෙහෙත් ටික ගෙනිහින් ඕනවට එපාවට බොන අය (හැමෝම නම් නෙවෙයි - හැබැයි බහුතරය) ප්‍රයිවට් දොස්තරගෙන් සල්ලි දීලා ගන්න බෙහෙත් ටික අපූරුවට අතපසු නොකර බොනවා - මොකද තමුන් සල්ලි දීපු නිසා. අන්න එහෙම ආකල්ප තියෙන අය එක්ක එක පැත්තකින් විතරක් ඉම්පෲව්මන් එකක් බලාපොරොත්තුවෙන එක වැරදියි. හැබයි එහෙම කියලා මේ විදිහට හැසිරෙන එක අනුමත කරන්නවත් ඒක හොදයි යැයි කියන්නවත් මම කැමති නෑ. ඔය දේ හැමොටම හොදින් වෙන්න නම් මුලු සමාජයේම ආකල්ප නැත්නම් living and thinking qualities කියන එක දියුනු වෙන්න ඔනේ (ෆෝන් රී ලෝඩ් එකට වඩා අදින්න කමිස කෑල්ලක් ගන්න ඕනේ කියල හිත අය වෙන්න ඕනේ). ඒවත් සමග තමයි අපි ඔය කියන සහ පතන තත්වයක සේවාවනුත් (වෛද්‍ය විතරක් නෙවෙයි අනික් ඒවාගේ පවා- Bus, Train, Government Office) පත් වෙන්නේ.
    හැබැයි අපේ වගේ රට වල සංස්කෘතියත් සමග මිනිසුන් ගේ හිතෙ තවමත් ඇදිලා තියෙන්නෙ වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක් කියලයි. ඉතින් ඔවුන් දෙවිවරු විදිහට හැසිරෙයි කියලා බහුතරය බලාපොරොත්තු වෙනවා සහ කොටසක් වෛද්‍යවරුත් (සහ සෞඛ්‍ය කාර්යා මණ්ඩල පවා) තමන් දෙවිවරු කියන මනසින් ඉන්නේ. අර එක පාඨකයෙක් කීවා එයා සතුටුවෙනව එයා ලන්කාවේ නෙවෙයි ඉන්නෙ වෙන රටක එහේ වෛද්‍යවරු ඔහොම නැහැ කියල. හැබැයි ඒ එක්කම එයාට මතක් වෙන්න ඇති ඔය රටේ වෛද්‍යවරු කියන්නේ දෙවිවර කියල සලකන රටකුත් නෙවෙයි. වෛද්‍යවරා සහා බිම සෝදන්න අතර කිසිම ස්ටේටස් වෙනසක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ රටේ වෛද්‍යවරයා ලෙඩාවත් ලෙඩා වෛද්‍යවරයාවත් එකම ලෙවල් එකේ ඉදලයි වැඩ කරන්නේ. එතකොට ඒ අය අතර වෙන සංවාදය හරිම සර්ථකයි. ඒක එහෙම වෙලා තියෙන්නේ ඒ රටේ වෛද්‍ය නොවන පිරිසගෙත් ආකල්ප සහා කොලිටීස් කියන දේවල් දියුනු තත්වයක තියෙන නිසා. ඉතින් ඔය දේ ලන්කාවෙ වෙන්න නම් අපේ බහුතර ජනතාවගේ ආකල්ප දියුනු නොවි ඒ දේ කරන්න සහ බලාපොරොත් වෙන්න අමාරුයි වෙයි.
    ඔවුන් නිකන් හම්ම්බ වෙනවා කියලා (එන්ගලන්තෙ වෛද්ය සේවය අපේ වගේම නොමිලේ ලබා දෙන්නේ) එ්ක අවතක්සේරු කරන්නෙත් නෑ වගේම බහුතරය වෛද්‍යවරයා කියන දේ සිිරියස් විදිහට අහන එක. අපේ සමහර ලෙඩ්ඩුන්ට හොදින් කීවහම ගනන්ගන්නේ නැ කවුරු හරි මැරයෙක් වගේ ඇවිල්ල කීවහම අහන්න පුරුදුවෙලා තමා තාම ඉන්නේ.
    මම මේ කීව කාරනය වැරදි කොනකින් අල්ල ගන්න එපා කියවන අය. මේ කතාවේ එන කතා නායකයාගේ හැසිරීම මම අනුමත නොකලත් එය එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන එකටයි මම අදහසක් ප්‍රකාශ කලේ. කාලයත් එක්ක අපේ සමාජයේ දේශපාලකයින්ගේ කසිප්පු පැකට් එකට කඩේ යන ප්‍රතිශතය අඩුවේගන යද්දි වෛද්‍යවරුන්ටත් එන්ගලන්තේ හැසිරෙන විදිහට හැසිරෙන්න සිදුවේවි. අසාධාරන දේ තමා අදටත් සමාජයේ එහෙම නොවන අය(ආකල්ප වලින් පොහොසත් අය) ඕන තරම් ඉන්න ඉන්නවා සහා ඒ අයට ඔය විදිහට සැලකු විට දුකක් වගේම වෛද්‍ය වෘත්තිය ගැන කෝපයකුත් එන එක - ඒක සම්පූර්ණ්යෙන් සධාරනයි. (මම දන්න තරමින් Communication skills, behavioral Skills වාගේ ටොපික්ස් දැන් කොලඹ වෛද්ය පීඨයෙ උගන්වනවා - කාලයත් එක්ක හැම දේම දියුනු වෙයි කියලා හිතමු - මම පිටරටක වෙසෙන්නෙක්!)

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් මම විවාදයකින් තොරව පිළිගන්නවා. දියුණු රටවල ආකල්ප අපේ වගේ රට වල භාවිතයේ අපහසුව මම දන්නවා. වැසිකිලිය භාවිතා කරලා වතුර නොගසන ලෙඩුන් ඉන්න රටක දියුණු රටවල වගේ කතා කරලා බැහැ කියලා අදහසක් රෝහල් කාර්‍යමණ්ඩල වල ඇතිවීම වලකාලිය නොහැකියි. නමුත් ටිකෙන් ටික ආකල්පමය වශයෙන් දියුණුවක් ඇති වෙයි.

      Delete
    2. Notonly in med fac, colombo. In all med faculties of srilanka, those topics are teaching as a extra subject

      Delete
    3. Anyway your view is correct. :)

      Delete
    4. Tk I left SL 6 y ago , its nice to know that these essential subjects are now being addressed

      Delete
  12. If anyone there who teaches medical students please ask them to ask this question first from the patient "what is your livelihood " (or what is your profession ) after that doctor can decide how or what to tell the patient. Because that gives lot of information about the patient.
    I am not in medical profession but in my life only one doctor (a dental doctor ) asked me that question first and he became my family doctor and one of my best friend unfortunately he left Sri Lanka.

    ReplyDelete
  13. ඔබේ කතා සහ ලිපි කියවන්න ඉතා කැමතියි.

    ReplyDelete
    Replies
    1. Anushka මට ලිවීමට උත්තේජනය දෙන්නේ ඔබලා වැනි පාඨකයන්

      Delete
  14. Dr.Ruwan,
    I think all the specialist doctors go to a foreign training in a western country. So, obviously they'd have observed and practiced how they treat patients in those countries and have done the same there.
    The question is why do they change quite drastically as soon as they landed in Sri Lanka ?

    ReplyDelete
    Replies
    1. It is a very dramatic question , I think cultural clash and also monitory gains impacts

      Delete
    2. Aruna MadurasingheMarch 3, 2016 at 8:27 AM

      Personally I know some of them are very kind and friendly talking to the patients; Ex. Dr. Hemantha Dodampahala. (VOG).

      Delete
  15. ඔබේ කෙටිකතා බූන්දි යේ දැක තිබුණත් බ්ලොග් එක දැක්කේ අදයි. ඔබේ ලිවීම් රටාව අපූරුයි. එක හුස්මට කියවන්න හිතෙනවා. කාර්යබහුල වෘත්තියක යෙදිලත් ලියවිල්ලට වෙලාව සොයාගන්නා එක අගය කළ යුතුයි. තවත් සාරවත් කතා ලියන්න! ජය!

    ReplyDelete
  16. matath podi deyak una, hebei mechchara darunu deyak nemei. mage kakule denata aurudu 10kata wage uda idala podi keseem gathiyakthibuna. 2007 wage weddi eka kakula pelena tharamata prashnayak una. mama eka bambalapitiya pradeshaye prasidda waidyawarayekta pennuwa 3-4 wathawak. adika viyadamak giyath eken suwayak denune nehe. pasuwa mama rajagiriya aurwed rohalen prathikara ganna giya. masa 2-3k wage mama prathikara gaththath vishwavidyala jeevithe bodime idagena eka idiriyata karagena yanna beri una. anika dawasak mata behethak biwwa welawaka pidi aasathmika thawayak awa. ita dinakata passe bere wewa asala pudagalika rohalen hame roga specilist kenekta pennuwa, mama sinhala wedakan karapu ekata nosehenna benna. athuma igenagena thibbe engalanthelu, ehe ayata mehema leda nehelu, mage ledeta hethuwa duwilla nisa kiyala mata sapaththu mes dagena inna kiwwa. pelila isma galane mage kakulata mokuth noda inna tharamata pahasu weddi mat hitha ganna beri una kohomada mama mes danne kiyala. masekata wada ethumagen beheth gaththath aduweemak pennum kale ne. passe mama mage wena kenkge margen wenath charma roga visesagnayek muna gehuna ragama pradeshaye. ethuma eka balala mata pehedili kala mata thiyenne rubber pati walata thiyena asathmika thawayak kiyala. mata penen kakulema adala pennuwa sereppu patiyata anuwa mage lede athi wela thiyena heti. pasuwa katha bahedi ethuma kiwa widayawarayek nowuna nam ada ethuma mage wurthiyema kenek kiyala. balan yaddi mage bappagei vishwavidyale mage acharyathumekgei paasal mithurek. ethuma nohitinna adatath mage lede nisa vidawanna wenawa.

    waidyawarayekge yuthukama wenna ona manusseyekge jeevithe ekka bedila rogayata prathikaram kireema misak thamange ugathkamin res pennana ekawath wagakeemen midena ekawath nemei.

    ReplyDelete
  17. waidyawarayekge yuthukama wenna ona manusseyekge jeevithe ekka bedila rogayata prathikaram kireema misak thamange ugathkamin res pennana ekawath wagakeemen midena ekawath nemei. ++++++++++++++++++++++++++

    ReplyDelete
  18. It is amazing no body talks about the damage done by "quack" doctors in this story.

    ReplyDelete
  19. ගොඩක් ස්තුතියි, මෙවනි සමජයේ එක් එක් ස්ථරයන්ගේ සිටින්නවුන්ගේ අදහස් එකට ගලපා ලස්සන,කියවන්න ආස හිතෙන විදියට ඉදිරිපත් කලාට.

    ReplyDelete
  20. මෙම කථාව සත්‍යය තත්වය මනව භක්තිය ආදී හැගීමි රාශියක් සමගින් දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමක්
    රෝහලක විතරක් නෙවෙයි අනෙක් ආයතනවලත් වැඩ කෙරෙන හැටි මහජනතාව දන්නවා අඩුයි
    එවුන්ට එය දැනගන්න විදිහක් නැහැ
    හැබැයි දන්නවා නමි හොදට වැඩ කරන අයට වැඩකරන්න උදවි කරයි
    ඔබ සැබවින්ම දක්ෂ ලේඛයෙක් නමුත් ඔබගේ මෙවැනි අගනා නිර්මාණ සාමාන්‍ය මහජනතාව
    අතරට යනවා අඩුයි
    එම බාධක මගහරවා වඩා හොද සන්නිවෙිදන ක්රමවෙිදයන් ඔවුන්වෙත කරැණාවෙන්
    භාවිතා කිරීමට ඔබ යොමුවෙනවනමි හොදයි
    ශ්රී ලංකාවෙි සාමාන්‍ය මහජනතාව බ්ලොග් බලනවා අඩුයි
    ඔවුන්ට ඔිවට ඇති වෙලාව අඩුයි
    ඉතින් ඔබට පුලුවන්නමි මෙම කථා සතිඅන්ත පුවත්පතක පලකරවන්න
    නැත්නමි පොතක් වශයෙන් පලකරවන්න එය හුගක් ප්රෝජනවත් දෙයක්

    ReplyDelete
  21. සමහරුන් කියන ලෙස වෛද්‍යවරුන් කියන්නෙත් මිනිස්සු කොටසක් මිසක් දෙවියන් කොටසක් නෙවෙයි කියා ඇතැම් වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් දුටුවම හිතෙන එක වලක්වන්න බෑ. ලෙඩාගේ මූණට හිනාවෙන දොස්තරලා වෙදකම මග හැරලා සමහරවිට කම්මැලිකම නිසා ලොකු උනන්දුවක් දක්වන්න උවමනාවක් නැති නිසා ලෙඩා මැරෙන තත්වෙට යනවා. එවැනි සිදුවීම් ලංකාව තුල වගේම වෙනත් රටවලදීත් මම දැක තිබෙනවා. ලෙඩාගේ වත්පොහොසත් කම අනුව, සමාජයේ ඔහුගේ තත්වය අනුව වගේම ලෙඩා සමග සිටින ඥාතීන් අනුව, ඔවුන්ගේ උනන්දුව අනුවත් ලෙඩාට ලැබෙන සැලකිල්ල වෙනස් වෙන්න පුලුවන්. කෙසේ වුවත් දොස්තරලා සහ නර්ස්ලා කියන්නේ ලෙඩාගේ ලඟම ඥාතීන් නොවන නිසා ඔහුගේ ජීවිතය ගැන ලෙඩාට සහ ලෙඩාගේ ලඟම ඥාතීන්ට තියෙන වැදගත්කම දොස්තරලාට සහ නර්ස්ලාට නැති වෙන එක බලාපොරොත්තු විය හැකි දෙයක්. ඒ අනුව ජීවිතය බේරාගන්න හෝ, ශරීරයේ අවයවයක් බේරාගන්න දරන වෑයම සීමා සහිතයි. එවන් තත්වෙකට නොයා තමුන්ගේ අම්මා හෝ තාත්තා හෝ දරුවා ලෙස සිතා, ලෙඩාගේ ජීවිතය ඔහුගේ දරුවන්ට, පවුලේ අයටකොච්චර වැදගත්ද යන කරුණ මතක් කරමින් ජීවිතයක් බේරගන්න උපරිම මහන්සියක් කැපවීමක් යොදවන වෛද්‍යවරුන්, හෙදියන් තමයි සැබෑම දෙවිවරු වන්නේ.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඔබ විවිධ විෂයයන් යටතේ විවිධ ආකෘතීන්ගෙන් සමාජය ආමන්ත්‍රණය කරනවා. අතරින් පතර මම ඒවා කියවලා තියෙනවා. ඔබගේ විවිධ ඉදිරිපත් කිරීම් අතර මට මෙය ඉතා සුවිශේෂියි. මොකද ඔබ වෛදයවරයෙක්. ඔබ මෙමගින් නිරූපණය කරලා තියෙන්නෙ සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවයාත් රෝගියාත් අතර තියෙන සම්බන්ධයේ එක්තරා පැතිකඩක්. මෙය කියවගෙන යන කොට මෙම අද්දැකීම මෙම ආකාරයෙන් ම අප අත්විද නැති උනත් මෙම අද්දැකීම මගින් ජනිත කරන ඛේදවාචකයට සමාන වෙනත් අද්දැකීම් සමග එකට ඈදී එය මට ම වූ දෙයක් මට්ටමට මාව කම්පනයට ලක් කරා. ඔබගේ රචනයට අදාළ කතාව සත්‍යයට ලං උවත් එය තේරුම් ගත් වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් මේ වගේ ඒවා හෙළිදරව් නොකර කරබාගෙන සිටීම හෝ නැත්තම් වෘත්තීය සීමාව තුළ පමණක් සාකච්ඡාවට බදුන් කිරීමයි කරන්නේ. නමුත් ඔබ එය පොදු මහජන අවකාශය තුළට මුදා හරිනවා. මම එය සළකන්නේ අදීන වූද නිහතමානී වූද වෘත්තීය වගවීමක් වශයෙනි. සෞඛ්‍ය සේවය මහජන විෂයයක් නම් සෞඛ්‍ය සේවය තුළ පවතින ප්‍රශ්න වෛද්‍යවරයා විසින් ද එය මහජන විෂයක තබා සාකච්ඡාවට බදුන් කිරීමෙන් පමණයි ප්‍රශ්න හදුනා ගැනීමටත් ඒවාට පිළියම් සෙවීමටත් සමාජය උනන්දු වන්නේ. අනෙක වෛද්‍යවරයෙක් මෙහෙ ම කිව්වා ම වක්කඩ කැඩුවා වගේ අනන්ත අප්‍රමාණ රෝගීන්, රෝගීන්ගේ ඥාතීන් තම අද්දැකීම් කතා කරන්න ගන්න පෙළඹෙනවා. ඒ වගේ ම මෙහෙ ම විමට අදාල ඔබ හගවා ඇති කාරණාත් වෙනත් කාරණා පිලිබදවත් වෛද්‍යවරුන් උනත් කතා කරන්න ගන්නවා. ඇත්තට ම මේ වගේ රචනා ආකෘති හරහා තමයි තිත්ත දේවල් සමාජයට සම්මුඛ කරන්න පුළුවන් වෙන්නේ.. ඔබ වෛද්‍යවරයෙක් හැටියට විශේෂයෙන් වෛද්‍යවරයාගේ භූමිකාව තුළ සිදුව ඇති ඉරි තලා යාම් නිහතමානී ලෙසත්, ඒ වගේ ම ද්වේෂයෙන් තොරවත් දුර රූපයක හිද විවිරණය කිරීම ගැන මාගේ ආදර ප්‍රසංසාව ඔබට මෙයින් පිරිනමනවා.තව දුරටත් විවිධ තේමාවන් හා විෂයයන් යටතේ ඔබට ලියන්න කියන්න ශක්තිය, ධෛර්යය ලැබේවා!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook