Saturday, December 20, 2014

වධහිංසනයේ මානසික බලපෑම්

                                        වධහිංසනයේ මානසික බලපෑම් 




(මාතලේ සමූහ මිනීවලේ සිටි මෙම පුද්ගලයා මිය යාමට පෙර අධික වේදනාව නිසා හෝ පණ පිටින් වළ දැමීම නිසා asphyxia තත්වයට පත් වීම නිසා මුඛය විවර කොට ගෙන සිටියදී මරණයට පත් වී  තිබෙන බවට උපකල්පනය කල හැක  )


"පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” 
ස්ටීවන් බිකෝ

වෛද්‍ය රුවන් එම්. ජයතුංග
වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම වැනි අරමුණක් සඳහා දඬුවමක්, තැතිගැන්වීමක් හෝ බලහත්කාර කමක් හෝ ඕනෑම ආකාරයක වෙනස්කමි කිරීමක් පදනමි කරගත් ශාරිරික හෝ මානසික අන්දමින් කිසිවෙකුහට දුකක් හෝ වේදනාවක්, වේතනාත්මකව පමුණුවන ඕනෑම ක්‍රියාවක් වශයෙනි.
මානව ඉතිහාසයේ ආරමිභයේ සිටම වධහිංසනය පාලක මෙවලමක් වශයෙන් යොදාගෙන තිබේ. ශාරීරික දඬුවමි පැමිණවීම අනුමත කල කුප්‍රකට ‛ඇසට ඇසක්’ මූලධර්මය ක්‍රි.පූ 18වන ශතවර්ෂය තරම් අතීතයට දිවයන පැරණිම නීති මාලාවක් වන ‛හමුරාබ්ගේ’ නීතිය යටතේ අඩංගුව තිබුණි. වධහිංසනය උපයෝගී කරගෙන තිබුනේ තර්ජනයක් වශයෙන් පෙනුන කණ්ඩායමි වලට බලහත්කාරකම් පෑමේ ක්‍රමයක් හෝ ඔවුන්ව පාලනයට නතුකරගැනීමෙි මෙවලමක් වශයෙනි.
වධහිංසනය යනු ලෝකය පිලිබඳවූ පීඩකයා විසින් ඉදිරිපත් කරණු ලබන විකල්ප අර්ථවිග්‍රහයට යටත් කරගැනීම පිණිස වින්දිතයාව ප්‍රතිප්‍රක්‍රමණය කිරීමේ ක්‍රියාවලියකි. එය ගැඹුරු, අමතක නොවන හා අප්‍රසන්න අධීශික්ෂණ ක්‍රියාවකි. (Psychology of Torture – Sam Vaknin). වධහිංසනය කායික, මානසික හෝ සමහරවිට දෙකෙහිම සංකලනයක් විය හැක. දෘශ්‍යමාන සාක්ෂි කිසිවක් ඉතිරි නොවන පරිදි වින්දිතයාගේ වේදනාව හා බිය හැකිතාක් දුරට දික්ගැසවීම පිණිස වධහිංසන ක්‍රම සැලසුම් කරනු ලැබේ.
සන්නද්ධ අරගලවලදී (සතුරු සවිල් ජනයා හා යුදසිරකරුවන්) වධහිංසාවට ලක්නොකිරීමට තෙවන හා සිව්වන ජිනීවා සම්මුති තුළින් එකඟත්වය පලකර තිබුන ද, ලොව බොහෝ පෙදෙස්වල හා බොහෝ ප්‍රධානපෙළේ යුධමය ගැටුම්වලදී වධහිංසනය ක්‍රියාත්මක කර ඇත.
වධහිංසන නිසා ගැඹුරු හා දීර්ඝකාලීන ශාරීරික හා මානසික ප්‍රතිවිපාක ඇතිවේ. වධහිංසනය යනු සාමූහික වේදනා ආකාරයකි. එය වින්දිතයාට පමණක් සීමා නොවූවකි. ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ද මිත්‍රයන්ට ද එමගින් බලපෑම් ඇතිවේ. අභිනව පර්යේෂණ අනුව මානසික හා ශාරීරික යන දෙයාකාරයේම වධහිංසන නිසා සමාන මානසික ප්‍රතිවිපාක ඇතිවේ. වධහිංසන වින්දිතයින් බොහෝ විට විෂාදය, ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය’(PTSD) හා සමහර විට මනෝව්‍යාධික ආවීර්භාවයෙන් පෙළෙති.

හැමන්හිල් බන්ධනාගාරයේ වධහිංසනයට පාත්‍රවූ වින්දිතයා.

වධහිංසනයේ ප්‍රතිවිපාක වසර හෝ දශක ගණනක් එම වින්දිතයා පසුපස හඹා ඒමට පුලුවන. 1971 කැරැල්ලට X2 මහතා සහභාගීවූ අතර තවත් කීපදෙනෙක් සමඟ යාපනය පොලිස් ස්ථානයට පහර දීමට එක්විය. ප්‍රහාරය අසාර්ථකවූ අතර පොලීසිය කැරලිකරුවන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. X2 මහතා සහ අනෙකුත් අයව පොලිස් ස්ථානය වෙත ගෙනගොස් පැය හතරක පමණ කාලසීමාවක් තිස්සේ බැටන් පොලුවලින් හා ලීමුගුරුවලින් පහර දෙන ලදි. මෙම පහරදීමෙන් පසු (80 දෙනෙකු පමණ) ඔවුනට එහා මෙහා චලනය කිරීමටවත් නොහැකි තරමේ කුඩා මැදිරියක සිරකර තබන ලදි. පසුදින සවස වනතෙක්ම සියලුම සැකකරුවන් නිරුවතින් සිරමැදිරියේ තබා ඇත.
සති කිහිපයකට පසු මෙම සැකකරුවන්ව යාපනයේ හැමන්හිල් බන්ධනාගාරය වෙත ගෙනයන ලදී. හැමන්හිල් වනාහි ලන්දේසීන් විසින් තනන ලද බලකොටුවක් වූ අතර වෙඩිබෙහෙත් ගබඩා කිරීම සඳහා එහි බිංගෙවල් නවයක් තිබුණි. මෙම බිංගෙවල් සිරමැදිරි බවට පරිවර්තනය කරන ලදී. හැමන්හිල් බන්ධනාගාරයේදී මෙම සිරකරුවන්ට අමානුෂික තත්වයන්ට මුහුණ දීමට සිදුවිය. බිංගෙවල් තුල වූ වාතය ආශ්වාස කිරීමට නුසුදුසු විය. දරාගැනීමට නොහැකි තරම් ඌෂ්ණ තත්වයක් එහි තුල වූ අතර අසතුටුදායක වාතාශ්‍රය හා සනීපාරක්ෂක පහසුකම් හේතුකොට ගෙන, එක් සිරකරුවෙක් එහි දී මිය ගියේය. ප්‍රශ්ණ කිරීම් අතරතුර දී X2 මහතාට පහර දුන් අතර 71 කැරැල්ලේ සිය භූමිකාව පිලිබඳව පාපෝචිචාරණයක් ඔහුගෙන් බලහත්කාරයෙන් ලබාගෙන ඇත. සිය අභිමානය හා අවංකභාවය ගැනවූ ඔහුගේ හැඟීම් අබලදුබල විය. තමා වැරදිකරුවෙකු හා නින්දාවට පාත්‍රවූ අයෙකු යැයි ඔහුට දැනුනි. තමාව පමණක් නොව තම මිත්‍රයන්ව ද පාවාදුන් බවට වූ මතයේ ඔහු දැඩිව එල්බගෙන සිටියේ ය. පීඩාව ඇති කරන අන්තර් පෞද්ගලික සම්බන්ධතාවලට ඔරොත්තු දීමේ ශඛ්‍යතාවය ඔහුගෙන් ගිලිහී ගොස් තිබුණි.
ඔහුගේ පාපෝචාරණයෙන් අනතුරුව දැඩිමතධාරී සාමාජිකයින් X2 මහතාට වෙනස්කමිකරමින් ද්‍රෝහියෙකු වශයෙන් සැලකූ අතර, බොහෝ අවස්ථාවලදී ඔහුව විවිධ ශාරීරික හා මානසික හිරිහැරවලට පාත්‍රකර තිබේ. X2 මහතා යාපනයේ හැමන්හිල් බන්ධනාගාරයේ වසරක් පමණ ගතකල අතර, ඉන් අනතුරුව අක්කරායන්කුලමේ එලිමහන් සිරකඳවුරට මාරුකර තිබේ. 1977 දී ඔහුව නිදහස්කර තිබේ.
වසර 38ක් පමණ ඉක්මගිය ද තමාගේ ඇස්පනාපිට වධහිංසන දුටු හා දරාගතනොහැකි දිවිපැවැත්ම අත්දුටු හැමන්හිල් සිරගෙදර ගතකල එම කාලසීමාව ගැන X2 මහතා තුල තවමත් කාන්සාමය හැඟීමි තිබේ. දැන් ඔහු දේශපාලනමය වශයෙන් අක්‍රීය, සීමීත ජීව අරමුණු සහිත ඒකලනයට ලක්වූ පුද්ගලයෙකි.

88/89 කාලසීමාවේ වධහිංසන වින්දිතයා
දේශපාලනමය ලියකියවිලි හා පෝස්ටර් නීතිවිරෝධී ලෙස සිය සන්තකයේ තබාගැනීම පිලිබඳවූ අනුමාන චෝදනාවට L5 මහතාව රුවන්වැල්ල පොලීසිය විසින් 1988 දී අත්අඩංගුවට ගෙනතිබේ. කිහිපවතාවකදී ඔහුගේ සිරුරට පහර දී ඇත. ඔහුගේ වදකයන් ඔහුට බැටන් පොලුවලින් හිසට පහරදීම් කර ඇත. ලේ ගැලීම වැලක්වීම පිණිස ඔවුහු ඔහුගේ හිස මත පොතක් තබා ඉන්පසුව ප්‍රහාර එල්ලකර තිබේ. එහෙත් L5 මහතාට කම්පනය, වේදනාව හා ස්ථුරණය දැනුනි. 1990 දී නිදහස ලබීමෙන් පසු ඔහු හුදකලා දිවියක් ගත කලේ ය. 2001 දී ඔහු මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලැබූ අතර, එම අගැයුම අනුව ඔහු නපුරු සිහින දැකීම, ආක්‍රාන්තිය, අනිද්‍රාව, ලිංගික බෙලහීනතාවයෙන් හා වරින්වර සිදුවන හිසරදයෙන් පෙළෙන්නෙක් විය.


ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත යටතේ රැඳෙවියෙකුගේ කථාව

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 1993 මුල් භායයේ දී K3 මහතාව වවුනියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිය අත්දැකීම් පහත දැක්වෙන අයුරින් විස්තර කරයි:
අත්අඩංගුවට ගත් පසු මාව ……. කඳවුරට ගෙනයනු ලදුව දින කිහිපයකට පෙර ඇතිවූ ක්ලේමෝ බෝම්බ පිපිරීමක් ගැන මගෙන් ප්‍රශ්ණ කරණ ලදි. එම පිපිරීම ගැන මට අවබෝධයක් තිබුනේ නැත. ඔවුහු මා හට කුප්‍රකට ‛ධර්මචක්‍රවදය’ පමුණවන ලදි. මගේ දෑත් හා දෙපා ධර්මචක්‍ර සංකේතයක් මෙන් බැඳ තිබුන අතර, මගේ සිරුර කරකවනවාත් සමඟ දෙදෙනෙක් පොලු කැබලිවලින් මගේ යටි පතුල්වලට පහර දුන්හ. ඉන් පසුව ඔවුහු මගෙන් විවිධ ප්‍රශ්ණ ඇසූහ. මා අන්දමන් ද වූ අතර, මා තදබල ලෙස වේදනාවෙන් පෙලුනෙමි.
මේසයක් මත මුණින් අතර වැතිරීමට මට අණකරනු ලැබූ අතර ඔවුන් මගේ පිටට, දෙපාවලට හා යටි පතුල්වලට පොලුවලින් හා එස්ලොන් බටවලින් පහර දුන්හ. සිද්ධීන් කිහිපයකට පසු යුද හමුදා රහස් ඔත්තු අංශයේ යහපත් නිලධාරියෙකු වන මෙිජර්———විසින් මගෙන් ප්‍රශ්ණ කරනලදි. අදාළ ත්‍රස්තවාදී ක්‍රියාව ගැන මගේ සම්බන්ධයක් නොතිබුණ බව ඔහු දැන සිටියේ ය. මාව නිදහස් කරන මෙන් ඔහු නියෝග කලේ ය. මෙිජර් ————- නොසිටින්නට මා මරණයට ලක්වීමට ඉඩතිබුණි.
නිදහස ලැබීමෙන් පසු මා හට වැඩක යෙදීමට නොහැකිවූ අතර, සුලු වශයෙන් හෝ සිරුර වෙහෙසීම මට මහත් වේදනාවක් ගෙනදුනි. මට නින්ද නොගිය අතර සෑම රැයක්ම මා ගතකලේ බියෙනි. ඔවුන් මාව නැවතත් අත්අඩංගුවට ගනීවී යන පැහැදිලිකල නොහැකි බියකින් මම පෙලුනෙමි. ධර්මචක්‍ර වධක්‍රමය ගැන මානසිකචිත්‍ර මට පෙනුන අතර පිටපිටම එම වේදනාකාරී සිද්ධිය මම නැවත මානසිකව අත්වින්දෙමි. ජීවිතය ගැන තවදුරටත් මා තුල උනන්දුවක් නොවීය. මගේ දරු පවුල ගැන මා හට කිසිම තැකීමක් නොවීය. මගේ ජීවිතය දෙදරමින් තිබුණි.


වධහිංසනයට භාජනයවූ යුද සිරකරුවා

ලාන්ස් කෝප්රල් P1 1993 වසරේ වැලිඔයදී එල්ටීටීඊ අත්අඩංගුවට පත් අතර වසර පහකට වැඩා කාලයක් තිස්සේ දරුණු වටපිටාවක රඳවා සිටින ලදි. නිතරම ඔහුව වේදානාකාරී ඉරයව්වල සිටවූ අතර, පහරදීම්වලටඩද, තොරතුරු ලබාගැනීම පිණිස සමහිර විට ලිංගේන්ද්‍රය මත විදුලි කම්පනවලට ද මුහුණ පෑමට සිදුවිය. මානසික දිශානතිය හා ජීවවිද්‍යාත්මක හෝරා යන්ත්‍රය සිඳලීම පිණිස ඔහුව මාස ගණන් කලුවරේ හා හුදකලාවේ තබා ඇත. තර්ජන, අවමාන, ව්‍යාජ මරණ දණ්ඩ නවලට ඔහු නිතරම මුහුණ දුන් අතර, අන් අයව වධහිංසාවලට භාජනය කරනු ඔහු දැක ඇත.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් පසු 1998 දී නිදහස ලැබූ ලාන්ස් කෝප්රල් P1 ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Post Traumatic Stress Disorder) රෝග ලක්ෂණවලින් පෙළෙන්නෙකු වශයෙන් රෝග විණිශ්චයට භාජනය කර තිබේ. ඥාණාත්මක අපචය, ස්මරණ අපගමනය, ඉගෙනීමෙි ශඛ්‍යතා හීනවීම්, ලිංගික බෙලහීනතාවය, සමාජ නිශ්ක්‍රමණය, සමුද්දේශ පිලිබඳ අදහස් හා චිත්තවේගී උදාසීනත්වයෙන් ඔහු පෙළේ.


වධහිංසනය යනු දෙපැත්තම කැපෙන අසිපතකි

වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළෙන අය වන අතර, බොහෝවිට ඔවුහු පරපීඩාකාමී තෘප්තියක් ලබති. පමුණුවන්නාගේ චිත්තවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන අතර, ඔහු සිය කැමැත්තෙන්ම මෙම ක්‍රියාකාරකම්වල යෙදේ. ඔවුන් සහවේදීතාවයෙන් ඌණවන අතර, වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාරී හැඟීමක් හා උචිචභාවයේ වින්දනයක් ලබාදේ.

තරුණ වින්දිතයෙකු වධහිංසනයට ලක්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලැබූ පොලිස් නිලධාරියා

බර්ටි රංජිත් මහතාගේ (යාපනය බන්ධනාගාර ප්‍රහාරයට මුල් පුරන ලද හා 71 කැරැල්ල සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් සපයන ‛බක්මහ කඳුඑ’ නම් කෘතියෙහි කර්තෘ) 1971 යාපනය පොලීසියට හා යාපනය බන්ධනාගාරයට එල්ල කල ප්‍රහාරවලට සහභාගීවූ බොහෝ අයගේ සියැසින් දුටු සාක්ෂි අනුව, අල්ලාගත් කැරළිකාර තරුණයෙක්ව එක්තරා පොලිස් නිලධාරියෙක් විසින් ප්‍රසිද්ධියේ වධහිංසනයට ලක්කරනු ලැබ ඇත. ඔහු මෘදුලෙස වින්දිතයාගේ කලවා පිරිමදිමින් ඒවා වර්ණනා කර, ඉන්පසු පිහියක් ගෙන ගැඹුරට ඇන තිබේ. මෙම තරුණයා වේදනාවෙන් බෙරිහන් දුන්විට ඔහු හර්ෂයට හා සංක්ෂෝභයට පත් වී තිබේ. තරුණය බිම වැටී ලේගලමින් සිටි මුත් මෙය එම නිලධාරියාගේ උද්ධාමයට හේතුවිය.
රෝහිත මුණසිංහ විසින් රචිත එලියකන්ද වද කඳවුර නම් කෘතියෙහි එලියකන්ද වධකාගාරයේ (කේ පොයින්ට්) ප්‍රශ්ණ විචාරක විසින් සියැසින් දුටු සාක්ෂි තුලින් දකුණු සිරිලක තුල 1988-89 කාලසීමාව තුලදී උපයෝගී කරගත් වධහිංසන ක්‍රම ගැන ප්‍රත්‍යක්ෂ රචනයක් ඉදිරිපත් කර තිබේ. රැඳවියන්ව නිතර දෙවේලේ ශාරීරික පීඩාවලට හා අවමානයට පාත්‍රකරන ලද අතර, බොහෝ අයගේ මිත්‍රයින්ව මරාදමා ඇත්තේ ඔවුන් ඉදිරියේම ය. ‛කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ අය තවමත් අනේක මානසික ව්‍යාධිවලින් පෙළෙති.

88/89 කැරලි සමයේදී සාමාන්‍ය සෙබල XX2 කේ පොයින්ට් කඳවුරේ ප්‍රශ්ණ විචාරකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනා ඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දක්‍ෂුවම් ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සිදුකර තිබේ.

වසර එකහමාරක් පමණ මෙම කඳවුරේ සේවය කල මොහුට උතුරේ පිහිටි හමුදා කඳවුරකට ස්ථාන මාරුවක් ලැබී තිබේ.
1992-1993 කාලසීමාව තුලදී ඔහුගේ මානසික සෞඛ්‍යය මැලවන්නට පටන් ගෙන තිබේ. තමා වධබන්ධනවලට ලක්කල අය වේදනාවෙන් කෑගසනවා ඔහුට ඇසෙන්නට පටන් ගැනුනි. සාමාන්‍ය සෙබළ XX2 දරුණු කෝපයෙන් පෙලුන අතර, නිරන්තරයෙන් සිදුවන ශාරිරික පරිභව නිසා ඔහුගේ බිරිය හා දරුවන් ඔහුව හැර ගියහ. ඔහු කීප වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කලේය. 2002 වසරේදී පවත්වන ලද මනෝවි්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට විනිශ්චය විය.
සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්, මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලට ඇබ්බැහිව සිටියේ ය.
රෝහිත මුණසිංහ විසින් ලියන ලද ‛එලියකන්දේ වද කඳවුර’ නම් කෘතියෙහි සඳහන් බොහෝ විස්තර මෙම සෙබළාගේ මතකයට සමගාමි විය. මලකඳන් බැහැර කිරීම සඳහා යොදාගන්නා ලද ඩබල් කැබ් රථයේ වර්ණය ගැන විමසූ විට සාමාන්‍ය සෙබල XX2 නිවැරදි පරිදි පිළිතුරු දී ඇත. කර්තෘ විසින් මෙම වාහනය ගැන ඔපවත් විස්තරයක් සිය පොතෙහි සඳහන් කර තිබුණි.

රුධිරය පිලිබඳව ග්‍රස්තියෙන් පෙලුණු වදකයා

සිය වින්දිතයින්ට වධහිංසා පැමිණවීම සඳහා LX5 මහතා සතුව නොයෙකුත් ක්‍රම තිබුණි. පොලුවලින් පහරදීම, දියේ ගිල්වීම හෝ ‛නානබාල්දි ක්‍රමය’ ඔහු යොදාගත්තේය. (නානබාල්දි නැතහොත් ආසන්න ගිල්වීම් ක්‍රමයේදී සිරකරුගේ දෑත් හා දෙපා බැඳ ජලය පිරවූ බාල්දියක් වෙත ගෙනියනු ලැබේ. LX5 මහතා වින්දිතයාගේ හිස අල්ලා බාල්දිය තුලට ඔබයි. එවිට ඔහුට හුස්ම ගැනීමට නොහැක. විනාඩි කිහිපයකින් පසු ගැඹුරු හුස්මක් ගැනීම් පිණිස LX5 මහතා වින්දිතයාගේ හිස එලියට ගනී. නැවතත් ඔහුගේ හිස බාල්දියට ඔබනු ලැබේ. ඔහු සිහිසුන් වන තෙක්ම මෙය නොකඩවාව කෙරේ.) මෙම නානබාල්දි ක්‍රමය නිසා ඔහුගේ අතින් මරණ කිහිපයක් සිදුව ඇත.

ඔහු නිතර පාවිච්චි කල ක්‍රමයක් වූයේ වින්දිතයාව පිහියකින් කපා ලේ ගලන ආකාරය නිරීක්ෂණය කිරීමයි. සමහර විට ඔහු භූමිතෙල් ක්‍රමය උපයෝගී කර ගත්තේය. (වින්දිතයාව දෙපාවලින් බාල්කයක එල්ලනු ලැබේ. ඔහුගේ දෑත් පිටුපසට කර බැඳ තිබේ. ඉන්පසු භූමිතෙල් ස්වල්පයක් සහිත ප්ලාස්ටික් මල්ලක් තුලට ඔහුගේ හිස ඔබා බඳිනු ලැබේ. මෙයින් වින්දිතයාට භූමිතෙල් සමඟ වූ වාතය බලෙන් ආශ්වාස කෙරේ. මෙම ක්‍රමයේදී ඔහුගේ දෑස හා නාසයට දැවිල්ල දැනෙන අතර, අඩක් වශයෙන් ඔහුගේ හුස්ම හිරවේ.)
කටුකම්බි ක්‍රමය තවත් එකකි. (මෙහිදී වින්දිතයාව බැඳ, වැස්ලින් ආලේපනය කර ඔහුගේ ගුද මාර්ගයට කුහරයක් සහිත පීවීසී බටයක් ඇතුල් කෙරේ. මෙම බටය සෙ.මී 6-8 ක් පමණ ගුදය තුලට ගියපසු කටු කම්බියක් බටය ඔස්සේ ගුද මාර්ගයට ඇතුල් කෙරේ. ඉන් පසුව කටු කම්බිය ඇතුලේ තිබෙන්නට හැර බටය සෙමින් ගුදය තුලින් එලියට ගනු ලැබේ. සිරකරුගෙන් ප්‍රශ්ණ කරන අතර, වධකයා වින්දිතයාට විශාල වේදනාවක් ඇතිවන පරිදි කටු කම්බිය එහෙමෙහෙ කරයි.) මෙයට අමතරව තොරතුරු ලබාගැනීම සඳහා කුප්‍රකට පෑන් ක්‍රමය ද යොදා ගැනේ. (අභ්‍යන්තර සවනේන්ද්‍රයට හානිවන අයුරින් වින්දිතයාගේ කණ තුලට ප්ලාස්ටික් පෑනක් එක්වරම තදින් ඔබනු ලැබේ.) මෙවැනි හානියකින් පසු වින්දිතයන්ගේ බොහෝ දුරට කණ අභ්‍යන්තරයේ ආසාදනය, මෂ්තිශ්ක විශ්ඵෝඨය හා අවෘතිදාහයෙන් පෙලෙති.
නොයෙක්වූ ක්‍රම අතරින් LX5 මහතා වැඩි කැමැත්තක් දැක්වූයේ වින්දිතයාගේ සිරුර තියුණු පිහියකින් කපන ක්‍රමයයි. වින්දිතයාගේ ලේ ගලන විට ඔහු ඉමහත් තෘප්තියක් ලබයි. ප්‍රශ්ණ විචාරකයෙක් වශයෙන් ඔහු වසර කීපයක් සේවය කල අතර, ක්‍රමයෙන් ඔහු තුල රුධිරය පිලිබඳව ග්‍රස්තියක් ඇතිවිය. සිය දෑත් ලේවලින් සෝදාගැනීමට ඔහුට නිතරම අවශ්‍ය විය. බිල්ලක් නොතිබුණ විට ඔහු කලේ බල්ලන් හා බළලුන් මරා උන්ගේ ලේවලින් සිය දෑත් සෝදා ගැනීමයි. 2003 දී LX5 මහතා ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට විනිශ්චය විය.
රුධිරයෙන් පිරුණ මූර්ති සහිත සිහින දැකීමෙන් ඔහු බියට පත්වේ. රුධිරය වහනය වන හිස්කබලක් ඔහු නිතරම දකින අතර, එය ඔහු විසින්ම ලේ විලක් මැද සිට අඳිනු ලබන්නකි. වධහිංසනය පිලිබඳ අතීතාවර්ජන, දැඩිකෝපය, සියදිවි නසාගැනීමෙි හා මනුෂ්‍ය ඝාතන අදහස්, පරාරෝපණය, ආවේග අවුල්කිරීම, අවධානයේ හා සවිඤඥානකතාවයේ විකෘති, ස්වයං සංජානනයේ විකෘති, අන් අය සමඟ සබඳතා විකෘති, අන් අය විශ්වාස කිරීමට නොහැකිවීම සහ දිගු කාලීන තබා සාමාන්‍ය ඇඟලුම්කම්වත් පවත්වාගෙන යාමට නොහැකිවීම යන ව්‍යාධිවලින් ඔහු පෙළේ. අන්‍යාකාරයෙන් නිශ්චිත නොකල දැඩි ක්ලමථාබාධයේ (DESNOS) රෝග ලක්ෂණ බොහොමයක් ඔහු තුලින් විද්‍යාමාන වේ.

වධහිංසනය හා ශ්‍රී ලාංකික සමාජය
අවාසනාවකට මෙන් වධහිංසනය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ෂණයේ කොටසක් වී තිබේ. රැඳවියන්ගෙන් තොරතුරු ලබාගැනීම පිණිස ඇමෙරිකානු එෆ්බීඅයි සේවය හා ස්කොට්ලන්ඩි යාඩි ආයතනය පවා වධහිංසනය යොදා ගන්නේයයි පවසමින් බොහෝ දේශීය නිලධාරින් එය යුක්ති සහගත යැයි තර්ක කරති.
ජෙරාඩ් පෙරේරාව වධහිංසනයට ලක්කිරීම හා ඔහුගේ ඝාතනය තුලින් මෙම උභතෝකෝටිකයට වඩා පුඑල් අවධානයක් ලැබුණි. වත්තල පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් වැරදීමකින් ජෙරාඩ් පෙරේරාව මිනීමැරුමක සැකකරු වශයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව ශාරීරිකව වධහිංසනයට ලක්කර තිබේ. බාල්කයක එල්ලන ලද ජෙරාඩ් පෙරේරාට මොට ආයුධවලින් පහර දී තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට උග්‍ර වෘක්ත අකරණය වැළඳී තිබේ. තුවාලවලින් සුවය ලද පසු ඔහු තමාව වධහිංසනයට පත්කල නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන ලදි. සාක්ෂි දීමට පෙර මහදවල් බස්රථයක් තුලදී ඔහුව වෙඩිතබා ඝාතනය කරණ ලදි. ඔහුට වධහිංසා පැමිණවූ නිලධාරීන් ඔහුගේ ඝාතනයට සම්බන්ධ බව පැහැදිලි විය.
තවත් අවස්ථාවකදී පාසැල් කැන්ටිමක සොරකමක් ගැන විමර්ෂණයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් වයස 10 හා 12 හේ පාසැල් ළමුන් දෙදෙනෙක්ව වධහිංසනයට ලක්කර ඇත. දෙපාවලින් එල්ලන ලද ඔවුන්ගේ යටිපතුල් වලට පහර දී තිබුන අතර, නියපොතුවලට යටින් උල් වස්තු ඔබා ඇත. මෙම ලමුන් දෙදෙනා වධහිංසනයේ ශාරීරික හා මානසික ප්‍රතිවිපාකවලින් බෙහෙවින් පීඩනයට පත්වූහ.
අපරාධකරුවන් නොවන සැකකරුවන්ව හා දේශපාලන සන්දර්භයක් යටතේ අත්අඩංගුවට ගත් ජනයාව වධහිංසනයට ලක්කිරීම 1971 කැරැල්ලෙන් ඇරඹුණ ගැටුම් අවදියේදී පටන් පුඑල් වශයෙන් ක්‍රියාත්මක විය. ආරක්ෂක හේතූන් මත නීතිවිරෝධී රැඳවුම් කඳවුරු පවත්වාගෙන ගිය අතර, වධහිංසනයට ලක්කිරීම සාමාන්‍ය දෙයක් වශයෙන් සිදුවිය. උදාහරණයක් වශයෙන්, 71 සමයේදී විද්ෙ‍යා්දය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල රැඳවුම් කඳවුරු වශයෙන් උපයෝගී කරගත් අතර, 88/89 සමය තුලදී යටාරෝ කැෆ්ට්රියාව සැකකරුවන් සඳහා මාරක ගමනාන්තයක් විය. උතුරේ තල්සෙවන කඳවුර එල්ටීටීඊ සැකකරුවන්ව ප්‍රශ්ණ කිරීම සඳහා යොදා ගැනුනි. එල්ටීටීඊ ද දේවපුරම් හි ඔවුන්ගේම වධකාගාරයක් පවත්වාගෙන ගියහ.
අධිකරණය හා විධායක බලාධකාරිය අතරවූ විශාල අසංතුලිතය තුලින් සමාජ සාධාරණත්වයෙහි ගැඹුරු රික්තයක් බිහිවුන අතර, එමගින් වධහිංසනයට ඉඩක් ලැබුණි. මෙම වසර කීපය තුලදී පුද්ගලයින් රාශියක් ශාරීරික හා මානසික වධහිංසනයේ ගොදුරුවූහ. බොහෝ අය සිය මානසික තුවාල කැලැල් සුලාගෙන තවමත් නිහඩව දුක්විඳිමින් සිටිති. ජාත්‍යන්තර නීතිය යටතේ වධහිංසනය අපරාධ අතින් සාහසිකම ගණයට වැටෙන එකක් ලෙස සැලකේ. ශිෂ්ඨ සමාජයක් විසින් ඒ ඒ රටවල පවතින වධහිංසන පරිචය තුරන් කල යුතුයි. වින්දිතයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ද, අවසාන විශ්ලේෂණයේදී මුලු සමාජයටම ද එය බලපෑමක් ඇති කරයි. වධහිංසනය නිසා රටක ආර්ථිකය, ප්‍රතිරූපය හා ජීවගූණය ආවේදනයට ලක්වේ. එය මහජනයාගේ ශාරීරික හා මානසික සුඛිතභාවය ක්‍රමානුකූලව විනාශ කිරීමකි. එය සමාජයේ මූලික පදනම හා අභිමානය දුර්වල කරයි.

2 comments:

  1. ඉතාම වටිනා ලිපියක්.බ්ලොග් කියවන්නන් ට මේවා අසුවෙනවා අඩුයි.ඔවුන් ඇදෙන්නේ කුනුහරප ලිපි හා කවි වලටයි.මේ විශය ගැන ලිපි ඉතා අඩුවෙනුයි පළවෙන්නේ.නමුත් යුරෝපයේ දෙවන ලෝක සංග්‍රාම සිදුවීම් ගැන තවම පර්යේශන කෙරෙනවා

    ReplyDelete
    Replies
    1. @ මධ්‍යස්ථ මතධාරියා - 71, 88, සහ උතුරේ අවි ගැටුම සබැඳිව අප බොහෝ විට කරන ලද්දේ වාර්තාකරණය මිසක් අධ්‍යනය නොවේ. මේ නිසා මෙම ආකාරයේ ක්‍ෂිතිමය සිදුවීම් යලිත් අපගේ සමාජයේ ඇතිවීමේ ඉඩකඩ වැඩිය​. RMJ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook