Monday, May 22, 2017

සුද්දිගේ තේ වත්ත

 


මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය​. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ. 

" සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය​. 

පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය​. 

" කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.

" සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ  " ඔහු කීවේය​. 

මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා  මුදල් ගසා ගෙන  කෑම නිරන්තරයෙන්ම කෙරුනේය​. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි. 

ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ​.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම  ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි.  තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ​. 

තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී  සහ  1988 දී  තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය​.  මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී  විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා  පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය​.  තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය​.  මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය​.  මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි  වියාපෘතියක් මෙයාකාරය​ට සමතලා කරන ලදි. ජනසතුවෙන්   පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා  පිරිහෙන්නට විය​. 

මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි.  දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන්‍ යාව තම තේ වතු  වැඩි දියුණු කලහ​. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන්‍ යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ​.  2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, May 21, 2017

සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?


සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?

සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ  ?

සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට  සල්ලි නැති එකා මොකද කරන්නේ  ?  

සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට  සල්ලි නැති එකා මොකද කරන්නේ   ?  

සල්ලි තියෙන එකා  තෝසෙ කඩෙන් කන කොට   සල්ලි නැති එකා මොකද කරන්නේ  ?  

සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට   සල්ලි නැති එකා මොකද කරන්නේ    ?

සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?


සමාජවාදී ගෝඩා්ෙ එනකම් ඉමු 

Saturday, May 20, 2017

සරණපාල ගේ කතාව

 


සරණපාල ඉපදුනේ පිටිසර නොදියුණු ගමකය​. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙකි. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් නොකලේය. මේ නිසා සරණපාලගේ ගමට  හරි හමන් තාර පාරක්වත් තිබුනේ නැත​. 

සරණපාලගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසාය . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි සරණපාල සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන ලදි.   මේ නිසා සරණපාල සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමගය.

සරණපාලයාගේ පියා කසිප්පු බීගෙන  බිරිඳට සහ ළමුන්ට පහර දෙන්නේය​. මේ නිසා සරණපාලට ගෙදර අපායකි. ගෙදර අඟහිඟකම් නිසා සරණපාලගේ අම්මා මැදපෙරදිග රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලට මවගේ උණුසුමද අහිමි විය​. ගෙදර හරි හමන් ආරක්‍ෂකයෙකු නැති නිසා වරින් වර අල්ලපු ගෙදර වැඩිහිටියා -විශ්‍රාමික ග්‍රාමසේවක සරණපාලව ලිංගිකව අපයෝජනයද කලේය​. 

සරණපාල , සරණපාල ගේ අක්කා හා මල්ලී යන්තම්  පණ ගැට ගහ ගත්තේ කොස් ගෙඩියක් දෙකක් තම්බාගෙන කමිනි. ගමේ කුඩා කඩයක් කල තේගිස් මුදලාලි ඉඳහිට පිනට එවූ පාං ගෙඩි දෙක තුනද  කුසගින්න නිවා ගන්නට උපකාරී විය​. 

කෙසේ නමුත් සරණපාල ගෙදර අපායෙන් ගැලවීමට ඉගෙන ගත යුතුයි කියා සිතුවේය​. මැදපෙරදිග ගිය මවද පඩි නොමැතිව දුක් විඳින නිසා සරණපාලගේ අක්කා ටවුමේ ගාමන්ට් එකක රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලලාට යන්නතම් තුන් වේල කෑමට යමක් ලැබුණි. 

සරණපාල උසස් පෙළ යන්තමින් සමත් වූවද දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි ප්‍රවේශය ලැබුවේය​. සරසවියට ගිය සරණපාලට නවක වධය ලෙස   ජේෂ්ඨයෝ කුණුහරප කීවෝය​. තවද සරණපාලලාව නිරුවත් කොට ව්‍යායාමද කරවන ලදි. මෙසේ නා නාවිධ අපහාස හිංසා නවක වධයේ නාමයෙන් ලැබුණු සරණපාල ඊලඟ වසරේ ජේෂ්ඨයෙකු විය​. ජේෂ්ඨයෙකු වූ සරණපාල කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන් තෝරාගෙන ඔවුන්ට තමා ලැබුවාටත් වඩා නවක වධ දුන්නේ කොලඹට කිරි ගමට කැකිරි කියමිනි. 

තමන් ඉගන ගත් ගමේ පාසල හරක් මඩුවක් මෙන් වූයේත් කොලඹ ඉස්කෝල වල ලොකු  බිල්ඩිං තිබුනේත් කෙසේද කියා නොදත් සරණපාල මේ විශමතා සඳහා දොස්  කීවේ කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන්ටය​. මේ සඳහා සරණපාලට තමා සමග ගමේ පාසලේ ඉගෙන ගත් සිරිපාල සහ විමලසේනද උල් පන්දම් දුන්නේය​. 

සරණපාල අන්තරයට බැඳුනේය​. අන්තරයේ අයියලා කී පරිදි ගමේ උළු ගෙයක ඉන්නා තේගිස් මුදලාලි  ධනපතියෙකි. එසේම තම අක්කාට රස්සාවක් දුන් තවත් පවුල් ගනනාවක් නඩත්තු වෙන ගාමන්ට් එකේ හිමිකරු සමරසිංහ මහතා සූරාකන්නෙකි. 

අන්තරයේ නියමය පරිදි සරණපාලලා සරසවි අධ්‍යාපනය පසෙකලා නොයෙකුත් උද්ගෝෂණ කෙරුවෝය​. පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියා පාරවල් බ්ලොක් කලෝය​. 

කුඩා කලයේ සිට තිබූ මානසික පීඩන නිසා සරණපාල සමාජය කෙරෙහි සිටියේ තරහෙනි. මෙය තමන් ගේ වාසියට යොදාගත් අන්තරයේ අයියලා සරණපාලට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරන්න කියා කීවෝය​. සරණපාල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා බස් ගිනි තබන්නට ගොස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්නට ගොස් අට පාස් කොස්සෙක් ගෙන් වෙඩි පාරක් කා මලේය​. 

සරණපාලව ෆෝම් කල අයියලා ඔස්ට්‍රේලියාවට පැන ගොස් එහි පවුල් පන්සල් වූහ​. ඉන්පසු තමන් ගේ ළමයි ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යැවූහ​. බිලි බෝයි කෙනෙකු වූ සරණපාලයා පසු කාලයක විරු සිසුවෙකු විය​. 

Friday, May 19, 2017

පර පීඩක සමාජය

  
ශ්‍රී ලාංකික සමාජය පර පීඩක සමාජයක් බව පෙනේ. මෙම පර පීඩකත්වය  ශ්‍රී ලාංකික සමාජය පුරා පැතිරී තිබේ. පර පීඩකත්වය මුලින්ම ආරම්භ වන්නේ පාසලෙනි. පාසල් ළමයාට අවශ්‍ය වනුයේ ආදරය , ආරක්‍ෂාව සහ මග පෙන්වීමයි. නමුත් මේ ත්‍රිත්වය දීමට නොහැකි ගුරුවරු රාශියක් අපගේ අධ්‍යාපන ක්‍රමය තුල සිටිති. ඔවුන් අධ්‍යාපනයේ නාමයෙන් ළමුන්ව වධයට පත් කරති. 

මොන්ටිසෝරියේ සිටම නැතහොත් එක වසරේ සිටම ගුරුවරියන් බොහෝ දෙනකු ළමුන්ව කායික මානසික පීඩාවන්ට පත් කරති. ඉහල පන්ති වලට යාමේදී ළමයාට දරුණුව කායික වධයන් පැමිනවීමද ඔහුව හෝ ඇයව  ශික්‍ෂණය  යන පදයට මුවාවී අවමානයටද පත් කරති. ඔවුන් ගේ ආත්ම අභිමානය බිඳ දමති. මේ නිසා අපගේ පාසල් පද්ධති වලින් පිට වන  ළමුන් බොහෝ දෙනෙකු  චිත්තාවේගී අසමබරතාවයෙන් පෙලේ.  සංවර්ධිත රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ පාසල් දරුවාගේ නිර්මාණශීලීත්වය ,ආත්ම අභිමානය ඉහල නැංවීම සඳහාය​. එහෙත් ලංකාවේ දැකිය හැක්කේ මෙහි විලෝමයයි. 

පාසලෙන් සරසවියට යන සිසුවා තව දුරටත් පර පීඩක සමාජයේ ගොදුරක් වෙයි. සරසවියට යන නවකයා නවක වධය නම් පර පීඩාවට ලක් කෙරෙන අතර එය පසුව විශම චක්‍රයක් වී නවකයා ජ්‍යෙෂ්ඨයෙකු වූ ඔහුද පර පීඩක නවක වධකයෙකු වෙයි. තවද ඔහු නවක වධය සොඳුරු අත් දැකීමක් කියමින් පර පීඩකත්වය සාධාරණීකරනය කරයි. බොහෝ සරසවි ආචාර්‍යවරුන් ද සරසවි සිසුන්ව පාගා දමා පීඩනයට ලක් කොට  වින්දනයක් ලබති. සරසවි ආචාර්‍යවරයෙකු සමග නෝරොක් වූවහොත් උපාධිය ලබාගෙන ඉවරය​. පන්න පන්නා පලි ගැනීම දක්නට තිබේ.  

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධරයා බොහෝ විට රජයේ සේවයට එක්වේ. රජයේ සේවයේදී ඔහුගේ පරපීඩක මානසිකත්වය නැවතත් එලියට එයි. තම  ආයතනයේ කණිෂ්ඨයන්ට මෙන්ම සේවය ලබා ගැනීමට එන ජනතාවද පරපීඩනයට ලක් කිරීම සිදුවේ. මිනිසුන් බොහෝ දෙනෙකු රජයේ දෙපාර්තමේන්තු තුල ආයතන තුල අනවශ්‍ය ලෙස පරි පීඩනයට ලක් කෙරෙන අතර මෙම පර පීඩාවන් වසන් කර ගැනීම සඳහා බොහෝ විට ආයතන රෙගුලාසි යොදා ගැනේ. මිනිසුන් රස්තියාදු කොට සාටර් කිරීමට රජයේ ආයතන වල සිටින වධකයන් අති දක්‍ෂය​. 

ලාංකිකයාගේ එදිනෙදා ජීවිතයද පර පීඩකත්වය සමග බැඳී ඇත​. නිවසේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද මග තොටේද ප්‍රචණ්ඩත්ව තදින් තිබේ. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එදිරිව ලිංගික හිංසනය මුදා හැරේ. ලිංගික හිංසනයට ලක් නොවී  කාන්තාවන්ට බස් වල දුම්රියේ යෑම අතිශයින්ම අසීරු කරුණකි. 

තැපැල් කාර්‍යාලයකට යන්න එහි කවුන්ටරයේ සිටින්නාට ඔබව පෙනෙන්නේ තමන් ගේ ඇසක් ගලවාගෙන යාමට පැමිනි අයෙක් ලෙසටය​. ලිපියක් තැපැල් කිරීමට , පාර්සලයක් යැවීමට අවශ්‍ය ගම් , කොල , කතුරු සියල්ල ඔබ නිවසින් ගෙන ආ යුතුය​. රස්තියාදුව උපරිමය​.  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට වැඩක් කරවා ගැනීමට යන්න අදිසි පීඩකත්වය තිබේ. මෙම පීඩකත්වයෙන් බේරීම සඳහා සමහරු අල්ලස් දෙති. අල්ලස් නොදී අලුතින් ගොඩ නගන නිවසක ප්ලෑන් එකක් පාස් කරවා ගැනීම අසීරු කටයුත්තකි. නැතහොත් ඔවුන් ඔබව වසර ගනනක් රස්තියාදු කරනු ඇත​. 

රෝහලේදී රෝගීන් සහ ඔවුන් ගේ ඥාතීන් පිලිවලින් රෝහල් සෙකුරිටියන්ගෙන් ද , ඇටෙන්ඩන්ලාගෙන් ද , හෙදියන්ගෙන් ද අවසානයේදී වෛද්‍යවරුන් අතින් ද පර පීඩනයට ලක් වෙති. හැඳුනුම් කමක් නොමැතිව රෝහලකට ගිය විට නොතකා හැරීම , බැනුම් ඇසීම මෙන්ම රස්තියාදු කරවීමද සුලබය​. මේවා ගැන පැමිනිලි කිරීමට ශක්තිමත් ප්‍රජා අනුකූල ආයතනද නොමැත​. 

උසස් නිලධාරියෙකුගේ, දේශපාලකයෙකුගේ දුරකථන පනිවිඩයකින් තොරව පොලිසියට ගිය විට අනාතය​. සරමක් හැඳගෙන ගියහොත් සංවාදය ආරම්භ වන්නේ ඕයි හෝ යකෝ කියාය​. පරපීඩකත්වය උපරිමයේදී පොලිස් ගුටි මෙන්ම ජීවිත හානියද සිදු විය හැකිය​. 

හමුදාවට යන නවකයා පිලි ගැනෙන්නේ දරුණු වධයකට ලක් කිරීමෙනි. මෙම වධ දීම් පුහුණුවීමේ අංගයක් ලෙසට අර්ථ කථනය කෙරේ. සොල්දාදුවා කෝප්‍රල් අතින් ද  කෝප්‍රල් සාජන් අතින් ද සාජන් ආර්.එස් එම් අතින් ද ආර්.එස් එම් ලුතිනන් අතින් ද ලුතිනන් කපිතාන් අතින් ද   මෙසේ ඉහලට යන තෙක් අනු පිලිවෙලින් වධයට ලක් කෙරේ. සමහර විට ලිංගික හිංසනයන් ද කෙරේ. 

උසාවියේදී මිනිසුන් නීතීඥයන් අතින් ද නඩු කාරයන් අතින් ද උසාවි වල සේවය කරන නිලධාරීන් අතින් ද නොයෙකුත් හිංසනයන්ට ලක් වෙති. මෑත කාලයේදී විත්තිකරුවන් ගේ බිරින්දෑවරු දූෂණය කල නඩුකාරයෝ අපගේ අධිකරණ පද්දතිය තුලින් වාර්තා විය​. 

පන්සලේ පල්ලියේද පර පීඩකත්වය මුදා හැරේ. වැඩිහිටි භික්‍ෂූන් / පූජකයන් අතින් කණිෂ්ඨයෝ පහරකෑම් වලටද ලිංගික අපයෝජන වලට ලක්වීමද නිබඳව සිදුවේ. පර පීඩකත්වයට ලක්වූ භික්‍ෂූන් / පූජකයෝ ඉන් පසු සමාජයට වයිරය දේශනා කරති. 

මේ අනුව බලන කල මුළු ලාංකික සමාජයේම පර පීඩකත්වය උතුරා යයි. මේ රෝගී වූ සමාජය සුවපත් කිරීම සුළු පටු කරුණක් නොවේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, May 17, 2017

ඝාතකයෙකු අභියස​



ඔහු මිනීමරුවෙකි. සාමාන්‍ය ඝාතකයෙකු නොව තමන් ගේම නැගෙනියගේ ගෙල කපා ඇයව මරා දැමූ කෘර මිනිසෙකි. ඔහු මා ඉදිරියේය​. ඔහුව අත් අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ තුවාල නිසා ඔහුව අපගේ වාට්ටුවට ගෙන එන ලදි.  ඔහුගේ එක් පයක් රෝහල් ඇඳේ යකඩ බටයකට තබා විලංගු දා තිබේ. ඔහු එක් ඇළයකට පමණක් හැරී සිටින්නේ පහසුව සඳහාය​. ඇඳ අසල පුටුවක වාඩිවී අවි ගත් පොලිස් නිලධාරියෙකි.  පොලිස් නිලධාරියා තමාගේ අත් අඩංගුවේ සිටින පුද්ගලයා දෙස උකුසු ඇසින් බලා සිටියි. එහෙත් සිරකරුවා තුල පලා යාමේ අදහසක් නොමැති බව පෙනේ. එසේ අදහසක් තිබුනද එය ක්‍රියාවට නැගීම පහසු නැත​. බරැති රෝහල් යකඩ ඇඳක් පයේ ලූ විළංගුවත් සමග ඇදගෙන ඔහුට දිව හැකිද ? ඇරත් ඔහුගේ ශරීරයේ තැලීම් සලකුණු තිබේ. ඔහුගේ වම් ඇසිපිය උඩ තුවාලයකි. එයට ප්ලාස්ටර් කෑල්ලක් අලවා ඇත​. රෝගියාගේ මොලයට තුවාල සිදුවී ඇත්දැයි මම පරික්‍ෂා කොට බැලුවෙමි. එහෙත් හෙඩ් ඉන්ජරියක සලකුණු නොමැත​. 

සිරකරුවා සිවිලිම දෙස බලාගෙන සිටියි.මම ඔහු වෙත යමි. මේ පුද්ගලයාගේ ඉතිහාසය රෝහලේ පොලිස් මුර පොලේ රාළහාමි විසින් මට දැණුම් දී තිබේ. ඔහු තියුණු පිහියකින් තම නැගනියගේ ගෙල වෙන් වන තෙක් කපන ලදි. මෙවැනි සහාසික අපරාධයක් ඔහු විසින් කරන ලද්දේ මන්ද ? ඔහු මානසික රෝගියෙකු නොවේ. මා විසින් ඇසූ ප්රශ්න වලට ඔහු නිරවුල්ව පිලිතුරු දුන්නේය​. තම නැගනිය සමග මෙතරම් දරුණු කෝපයක් ඔහු තුල ඇති වූයේ කෙසේද​? ඉඩම් ආරවුලක් වූයේද ? තම සිත් නොගත් අයෙකු සමග නැගනිය ඇසුරු කලේද ? මම නොදනිමි. එහෙත් ඔහු තම දෙමාපියන්ට දාව උපන් දරුවෙකු ඝාතනය කරන ලදි. ඔහු සිවිලිම දෙස බලා කල්පනාකරන්නේ කුමක් ? නැගනියගේ අවසන් මොහොත ගැනද ? ඔහු ගැන සිතමින් පසුතැවිලි වෙනවාද

ඔහුගේ තුවාල ගැන මා ඇසූ පැණයට ඔහු පිලිතුරු දුන්නේය​. මතුපිටින් ඔහු ශාන්තය. කිසිදු කලබලයක , චිතාවේගීය නොසන්සුන්තාවක ලක්ෂණ ඔහු කෙරෙන් දිස් නොවේ. එහෙත් ඔහුගේ සිත තුල චණ්ඩ මාරුතයක් හමා යයි


මිනිස් ඝාතනයක් කොට තවම පැය විසි හතරක් වත් ගතවී නැත​. ඔහු අත් අඩංගුවේය​. රෝහලින් ටිකට් කැපූ පසු ඔහු කෙලින්ම යන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයටය​. අධිකරණ ක්රියාදාමයන් ගෙන් පසු ඔහු සිර ගෙට යනු ඇත​. ඔහු සිරගතවන්නේ තමන් ගේම නැගෙනිය මරා දැමූ ඝාතකයා වශයෙනි. මොහු මිනීමරුවෙකු වූවද මට ඔහුව විනිශ්චය කල හැකිද ? මම ඔහුගේ වෛද්යවරයා මිසක විනිසුරු නොවේ. ප්රතිකාර වලින් පසු ඔහුව රෝහලින් ගෙන යනු ඇත​. ඉන් පසුව යලි කිසි දිනෙක අප හමු නොවනු ඇත​.  කෙටි කාලය තුලදී මම ඔහුව විනිශ්චයට ලක් කරන්නේ මන් ? මට ඔහු රෝගියෙකු  මිස ඝාතකයෙකු නොවේ

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook